මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ සහාය එක් පාර්ශ්වයකට ලබා ගනිමින් අලුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අත්සන් එකතු කිරීමේ ක්‍රියාවලියට ඊයේ (18) සිට එක්සත් ජාතික පක්ෂය ද එක්වීම නිසා පළාත් පාලන මැතිවරණයෙන් පසු අද (19) දින පළමු වරට රැස්වන පාර්ලිමේන්තු සභා වාරය උණුසුම් ස්වරූපයක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය සිකුරාදා වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ මන්ත්‍රී හමුවේ දී සහාය පළ කරන මන්ත්‍රීවරු 120ක පිරිසක් සිටින බව පෙන්වා දී තිබිණි. ඒ තනතුරු නොගෙන එජාපයට එරෙහි ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරන බවට ප්‍රකාශ කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද ඇතුළත්වය.

කෙසේ වෙතත් පිටකෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයට ඊයේ උදෑසන රැස් වූ මැති ඇමැති කණ්ඩායමක් තවදුරටත් අගමැති ධුරයේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ යුතු යැයි සඳහන් කරමින් ඊට සහාය පළ කරමින් අත්සන් එකතු කිරීම අරඹා තිබේ.

“එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එකට ඉන්නවා කියන එක මතයකට ආවා. අපි හැමෝම එකට ඉඳගෙන ආණ්ඩුව ගෙන යනවා.” යැයි සභානායක හා මහා මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘රිවිර’ කළ විමසීමේ දී පැවැසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මන්ත්‍රී කණ්ඩායමේ හමුවට එක් නොවූ අතර ඊයේ (18) රාත්‍රියේ දී අරලියගහ මන්දිරයේ දී පැවැති එජාප මන්ත්‍රී කණ්ඩායමේ තවත් විශේෂ හමුවකට එක්ව තිබේ.

“එජාපයට දැන් මන්ත්‍රීවරු 106ට අමතරව තවත් 15 දෙනකුගේ සහාය ලැබෙනවා. එහෙම බැලුවම අපට මන්ත්‍රීවරු 121ක් ඉන්නවා. අගමැතිතුමා හොඳට අංක ගණිත සෙල්ලම දන්නවා.” යැයි එජාප ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ‘රිවිර’ට සඳහන් කළේය.

මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව අගමැතිවරයකු සමග කැබිනට් සංශෝධනයක් කරනු ඇතිද? නැතිනම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ කැබිනට් සංශෝධනයකින් සෑහීමකට පත්ව මෙම බල සටන අවසන් වීමක් ඊයේ රාත්‍රිය වන තුරුත් දක්නට නොවීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය බදාදා සිට වත්මන් අගමැතිවරයා ඉවත් කොට නව ආණ්ඩුවක් ලබා ගැනීම සඳහා සරල බහුතරය පෙන්වීමට සහාය දෙන මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගනිමින් සිටියි.

අදාළ සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට පත් කළ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කමිටුව ඊයේ දිනයේ ද හමු වී ඉතා රහසිගත සාකච්ඡා කිහිපයක් පවත්වා තිබිණි.

මේ අතර මෙම පක්ෂ දෙකටම මැදි වී සිටින මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ම අදාළ අත්සන් පත්‍රිකාවලට මතෛක් සිය අත්සන යොදා නැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

“මොන පැත්තට අත්සන් කරනවද කියලා හිතාගන්න බැහැ. එක පැත්තකට අත්සන් කරලා අන්තිමේ වෙන දෙයක් වුණොත් මොකද කරන්නේ. ඒ නිසා මම නම් අන්තිමට අත්සන් කරන්නේ.” යැයි නම හෙළි නොකළ අමාත්‍යවරයෙක් ‘රිවිර’ට පැවසීය.

මෙම තත්ත්වය නිසා මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ම තමන් රෝගාතුර වී ඇති බව සඳහන් කරමින් රෝහල්ගත වී ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සංයුතිය වන්නේ කථානායකවරයා සමග මන්ත්‍රීවරුන් 225ක් වන අතර දෙපාර්ශ්වය ඉදිරිපත් කරන බව කියන අත්සන් ‍ලේඛනවල එකතුව මෙම සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

මේ අතර අද උදෑසන 8.30ට පාර්ලිමේන්තුවේ කමිටු අංක 4 හි දී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනය වන අද දිනයේ පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයක් උසුලනු ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ අදහසයි.

මැතිවරණයකින් ජනමතය අහිමි වූ කණ්ඩායමක් ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීම සදාචාරාත්මක නොවන බව සඳහන් කරන ඒකාබද්ධ විපක්ෂය ජනමතය අහිමි බව දන්නා ආණ්ඩුව කෙසේ හෝ ඔළුගෙඩි මාරුවකින් බහුතරය පෙන්වීමේ උත්සාහයක යෙදී සිටින බව සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු අසනීපයෙන් පසුවීම, විදෙස්ගතවීම හා වෙනත් කලින් යොදා ගත් කටයුතු නිසා අද පාර්ලිමේන්තු නොපැමිණෙන බව ද වාර්තා වේ.

අද දිනයට නියමිත පාර්ලිමේන්තු කටයුතුවලට අනුව මන්ත්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත අනුමත කිරීම සහ සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත හා ථෙරවාදී භික්ෂු කතිකාවක් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත ආදී පනත් කෙටුම්පත් රැසක දෙවැනි වර කියැවීම ද සිදුකිරීමට නියමිතය.

මීට අමතරව 2015.11.27 දින බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් රජයේ විගණකාධිපතිවරයා ලෙස පත් කළ එච්.එම්. ගාමිණී විජේසිංහ මහතාගේ තනතුරට හිමි වැටුප් හා අනෙකුත් දීමනා ලබාදීම හා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ දීමනා ප්‍රතිශෝධනය ඇතුළු තවත් අනුමැතිය ලබා දිය යුතු යෝජනා රැසක් ද අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර හෙට (20) උදෑසන සාමාන්‍ය පරිදි අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්විය යුතුව ඇත. අද පාර්ලිමේන්තුව තුළ ඇතිවන උණුසුම් තත්ත්වය හමුවේ එම අමාත්‍ය මණ්ඩල රැස්වීමත් පෙර සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙන් තීරණාත්මක විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

නයන තරංග ගමගේ/රන්මලී සෝමසිරි/නුවන් සේනාරත්න