ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සිකුරාදා (16) තුරඟ තරග පිටියේ පැවති තරගයේ දී නාවික හමුදාව ලකුණු 36-28 ක් ලෙස ‍පොලිස් පිල පරාජයට පත් කළේ ය.

තරගයේ ප්‍රථම භාගයේ දී ලකුණු 17-14 ක් ලෙස වාසි අත්කරගෙන සිටි නාවික හමුදාව ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා උත්සාහක දිනුම් 5 ක් වාර්තාකොට ඊට ප්‍රවර්තන 4 ක් හා දඬුවම් පහරක්ද එක්කර තිබිණි.

මේ අතර සෙනසුරාදා පැවති තරග අතරින් ලොකුම පෙරළිය සිදු කරනු ලැබූවේ සී.ආර්. ක්‍රීඩා සමාජය විසිනි. තුරඟ තරග පිටියේ පැවැති තරගයේ දී සී.ආර්. පිල ලකුණු 46-29 ක් ලෙස පහසු ජයග්‍රහණයක් වාර්තා කර තිබුණේ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අවස්ථා දෙකේදීම තමන් පරාජයට පත් කළ සී. එච්. පිලට එරෙහිව වීම කැපී පෙනුණි.

මේ තරගයේ පළමු භාගයේ ලකුණු 22-15 ක් ලෙස ඉදිරියෙන් සිටි සි.ආර්. පිල වෙනුවෙන් චානක චන්දිමාල් හා ජොයෙල් පෙරේරා උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කර තිබුණේ ඔවුන් ලබාගත් උත්සාහක දිනුම් හතෙනි.
ප්‍රතිවාදී සී.එච්. පිල වෙනුවෙන් සුදර්ශන මුතුතන්ත්‍රී හා අනුරුද්ධ හේරත් ඔවුන් වාර්තා කළ උත්සාහක දිනුම් සමව බෙදාගෙන තිබිණි.

එදින පවත්වන ලද ඉතිරි තරග දෙකෙන් ‍පොලිස් ක්‍රීඩාංගණයේ හැව්ලොක්ස් පිල හා යුද හමුදාව අතර පැවති තරගයෙන් හැව්ලොක්ස් පිලට ලකුණු 41-20 ක ජයග්‍රහණයක් හිමි වූ අතර, පල්ලෙකැ‍ලේ පැවති තරගයේ දී ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 53-14 ක් ලෙස ගුවන් හමුදාව පරාජයට පත් කළේ ය.

මේ අනුව ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සී.ආර්., හැව්ලොක්ස්, නාවික හමුදාව හා මහනුවර ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා සිටිති.

සීවලී එදිරිවීර