ජපාන දුපත් සමූහය යටින් පිහිටා ඇති මැග්මා කුහරය යම් හෙයකින් සක‍්‍රිය වුවහොත් එය ශිෂ්ටාචාරයක අවසානය විය හැකි බවට ජපාන විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවා තිබේ. එවැන්නක් සිදුවුවහොත් මිලියන 100ක් දෙනා ජීවිතක්ෂයට පත්වනු ඇති බව ද ඔවුන් අනාවැකි පළකර ඇත. කොබේ විශ්වවිද්‍යාලයේ සාගර ගර්භ ගවේෂණ මධ්‍යස්ථානයේ (කොබෙක්) විද්‍යාඥයින් පිරිසක් මේ බව සොයාගෙන තිබේ. ජපාන දුපත් සමූහයේ සාගර ගර්භයේ ගිනිකඳුවලටත් පහළින් පිහිටි බවට පැවසෙන මෙම මැග්මා තැටිය කියුබික් කිලෝමීටර් 32ක් පමණ පුරා පැතිර ඇති බවට විද්‍යාඥයින් අනුමාන කර ඇත. එය ලොව දැනට සොයාගෙන ඇති විශාලතම මැග්මා කුහරයයි. මෙය මීට වසර 7300කට පමණ පෙර සක‍්‍රීය වී ඇති බව ද ඔවුන් පවසා තිබේ.

පැසිෆික් සහ පිලිපීන මුහුදු තැටිය අතර පිහිටි ජපාන ලාවා කුහර  පිහිටා ඇත්තේ භූමිකම්පා බහුල භූ තැටි ප‍්‍රදේශයක් මත ය. මේ හේතුවෙන් නිරන්තර ස්වභාවික දරුණු ව්‍යසනවලට මුහුණදෙන ජපානයේ සාගර ආපදා අවදානම් පිළිබඳ සොයාබලන අතරතුරදී විද්‍යාඥයින් මේ බව සොයාගෙන ඇත. ජපාන දුපත් සමූහයට අයත් දුපතක් වන ක්‍යුෂු දුපත දකුණින් පිහිටි කිකායි ලාවා කුහරය ඉදිරි වසර 100 තුළ සක‍්‍රිය වීමට ඇති ඉඩකඩ ඉතා අවම බව විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. ”එහෙත් තවත් දැවැන්ත ලාවා කුහරයක් ඉදිරි වසර 100 තුළදී ජපානයට හානිකිරීමට 1%ක පමණ ඉඩකඩක් පවතිනවා. එලෙස සක‍්‍රිය වීමක් වුවහොත් එ් යටින් ඇති මැග්මා කුහරය  පුපුරා ගොස් මියයන සංඛ්‍යාව මිලියන 100කට අධික වනු ඇති. එය මෙතෙක් සිදුව ඇති බිහිසුණුම ස්වභාවික ව්‍යසනය විය හැකියි. එසේ වුවහොත් එය ශිෂ්ටාචාරයක අවසානය වන්නට පුළුවන්” යැයි කොබෙක් ප‍්‍රධානී විද්‍යාඥ මහාචාර්ය යොෂයුකි තත්සුමි පවසයි.

කොබෙක් ගවේෂණ වාර්තා පෙන්වා දෙන්නේ යම හෙයකින් මැග්මා කුහරය සුළු පිපිරීමක් වුවහොත් වරකට නිකුත් කරන මැග්මා ප‍්‍ර‍්‍රමාණය කියුබික් කිලෝමීටර් 40ක් වසා පැතිරෙන බව ය. එමගින් සිදුවන හානිය සුළුපටු නොවන බවටත් එම වාර්තා සඳහන් කර තිබේ. මෙම මැග්මා කුහරය සක‍්‍රිය විය හැකි කාල නිර්ණය සඳහා කොබෙක් විශේෂඥයන් කණ්ඩායමක් සමග ජපානයේ පෘථිවි සාගර විද්‍යා හා තාක්ෂණ කණ්ඩායමක් ද ගවේෂණ හා පර්යේෂණ සඳහා එක්වී ඇත. ඔවුන් විසින් නිර්මාණය කරන ලද විශේෂිත රොබෝවරුන් මැග්මා කුහරයේ ගවේෂණ ස`දහා මාර්තු මාසයේ මුහුදු පත්ලට යැවීමට නියමිත ය.

ජපාන දුපත් සමූහය යටින් පිහිටා ඇති ලාවා කුහරය යටින් මෙම මැග්මා කුහරය පිහිටා ඇති බව පැවසේ. මැග්මා යනු ගිනිකඳුවලින් පිටකරනු ලබන ලාවාවලට වඩා උෂ්ණත්වයෙන් වැඩි මුළුමනින්ම දියවුණු ගල් හෝ අර්ධ වශයෙන් දියවුණු ගල් ය. එ්වා ලාවාවලට වඩා වේගයෙන් ඇලෙන ගතියෙන් යුක්ත අතර ලාවාවලට වඩා වේගයෙන් ගල්වීමේ හැකියාව ද පවතී. මැග්මාවල උණුසුම සෙන්ටිගේ‍්‍රඞ් අංශක 700 සිට සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1600ක් දක්වා වනු ඇතැයි අනුමාන කෙරේ. මැග්මා යනු ලාවාවලට වඩා හානිකර අතිශය උණුසුමින් යුත් ලාවා තැටියට යටින් පොළොව ගර්භයෙන් නිකුත් කරන ගින්නෙන් දැවෙන දියාරු ගල් වැනි ඝන ද්‍රවයකි.

Untitled-11