රටේ දේශපාලන අර්බුදය මේ වන විට ඉතා නරක තැනකට පත්වෙමින් තිබේ. එම අර්බුදය අගමැති හටනකට සීමාව තිබෙන බව පෙනේ. පළාත් පාලන මැතිවරණයට පෙර සිටම අගමැති ධුරය වෙනස් කළ යුතු බවට යහපාලන ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වය ජනාධිපතිවරයාට යෝජනා කළේ දෙතුන් විටක් නොවේ. සම්මුතිකවාදී ආණ්ඩුවේ ගිවිසුම කල් පැන්න ද අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා සූදානම් වූයේ නැත. අනෙක් අතට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පෙර සේ නොව දැන් අගමැති ධුරයෙන් යම් පුද්ගලයකු ඉවත් කිරීම පහසු වැඩක් නොවේ. එයට හේතුව මෙකී ව්‍යවස්ථා සංශෝධනය නිසා ඒ සඳහා ජනාධිපතිවරයාට තිබුණු බලතල සීමා වීමය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ බහුතර සුළුතර පදනම ද නොතකා අගමැතිවරයා සේ රනිල් වික්‍රමසිංහ මහතා පත් කළේය. මේ පිළිබඳව ද විවිධ විවේචන පළවිය. එය පාර්ලිමේන්තුව නොතකා අත්තනෝමතිකව ගත් තීරණයක් සේ සමහරු පැහැදිලි කළහ. කෙසේ නමුදු යහපාලන ආණ්ඩුවේ ආරම්භයේම අගමැති ධුරය පිළිබඳ පලහිලව්වක් තිබුණි. යළි ආණ්ඩුවේ කාල සීමාවේ මැද හරියේදී එබඳු අගමැති පලහිලව්වක් උද්ගතව තිබේ. මේ වන විට එක් පැත්තකින් එක්සත් ජනතා නිදහස් සන්ධානය, අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයත් අගමැති ධුරය සඳහා විවිධ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටී.

පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණ ලැබූ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතු යැයි සැලකිය යුතු හඬක් නගමින් සිටී. බැලූ බැල්මට පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ජාතික ආණ්ඩුවක් වෙනස් කරන ජනමතයක් නොවේ. එහෙත් මේ මතය යම් අභියෝගයකට ලක් කරන පාර්ශ්ව ප්‍රකාශ කරන්නේ පළාත් පාලන මැතිවරණයේ දී යහපාලන ආණ්ඩුවේ නායකයන් එය ජනමත විචාරණයක් සේ ද සලකා කටයුතු කරන ලෙස ජනතාවට ප්‍රකාශ කළ බවය. මෙය තරමක් සැලකිය යුතු තර්කයකි. සැබැවින්ම ජනමත විචාරණයක් සේ ගත් කල පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට ජනතාව රතු සංඥාවක් නිකුත් කර ඇත. එක් පැත්තකින් තවදුරටත් ආණ්ඩුව කරගෙන යනවාද, නැත්නම් වෙනත් කණ්ඩායමකට ආණ්ඩුව භාර දෙනවාද යන ගැටලුව යහපාලන ආණ්ඩුවේ නායකයන් හමුවේ තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය පැත්තෙන් අගමැති ධුරය සඳහා නිමල් සිරිපාල ද සිල්වාගේ නම යෝජනා වී තිබෙන්නේ මේ අතරය. පළාත් පාලන මැතිවරණයෙන් ඉස්මතු වූ ජනමතය කෙරෙහි අවධානය යොමුකොට එවැනි යෝජනාවක් ඉදිරිපත් වූවාද යන්න විමසා බැලිය යුතුය.

සැබැවින්ම පළාත් පාලන මැතිවරණය ජනමත විචාරණයක් සේ සලකන්නේ නම් එමගින් මනාපය පළ වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටය. කෙසේ වෙතත් අගමැති ‍පොරය නම් වහා නතර විය යුතුය.

මේ වන විට ද ගමේ අණ්ඩුවේ අර්බුද නිසා ගම් සහ නගර පරිපාලනය බිඳවැටී ඇත. අවම වශයෙන් නගර සභාව යටතේ පාලනය වන ‍පොදු වැසිකිළියක්වත් නිසියාකාරව පවත්වාගත නොහැකි ආකාරයක් සමහර තැන්වල උද්ගතව තිබේ. ජනතාව මුහුණ දෙන්නේ මෙවැනි ගැටලුවලටය. ගම් මට්ටමෙන් සහ නගර මට්ටමින් තවත් ප්‍රශ්න රැසකට ජනතාව මුහුණ දෙති. එහෙයින් කළ යුත්තේ ඒවා විසඳාගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කිරීමය. පළාත් පාලන ආයතන පිහිටුවනවාද ඒවා පිහිටුවීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න තවම පැහැදිලි නැත. නොපමාව සභිකයන් ප්‍රමාණය වැඩි වුව ද පළාත් පාලන ආයතන යළි ස්ථාපිත කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. ගමේ, නගරයේ ජනතාව අපේක්ෂා කරන්නේ ගමේ ආණ්ඩුව පිහිටුවන තෙක්ය. එනිසා ජනතාවට ආණ්ඩුවේ උඩ තිබෙන අගමැති ‍පොර ආදියෙන් පලක් නැත. එය ඔවුනට අතිශය නීරස මාතෘකාවක් වනු ඇත. එනිසා ආණ්ඩුව උඩ තිබෙන ගැටලු වහා විසඳාගෙන රට මෙහෙයවීමට ආණ්ඩුව පියවර ගත යුතුය. එසේ නොහැකි නම් ජනතාවට ආණ්ඩුවක් පත්කර ගැනීමට ඉඩ දිය යුතුය. ඒ හැර විකල්පයක් නැත. එසේ නොවුණහොත් වර්ධනය වන දේශපාලන අර්බුදය ආණ්ඩුව සේම රට ද විනාශය කරා කැඳවනු ඇත.

SHARE

1 COMMENT

  1. රටක පාර්ලිමේන්තුව යනු උත්තරීතර ස්ථානයක් බව අප පාසල් යන අවදියේම කියාදුන් දෙයකි. නමුත් අපරටේ එය මානසික රෝගීන්, වාචලයන්ගෙන්,හොර තක්කඩි, මහජන දේපොළ ගසා කන මංපහරනන්, හිස් බස් දොඩවන මුසලයන්, ගෙන් ගහන වූ අසුචි වලක්වීම ඉතාමත්ම කනගාටුය. “කිසිදු මහජන නියෝජිතයහට කිසිම වරප්‍රසාදයන් නොදෙන බවත්, සිය පුද්ගලික දනයෙන් මහජන සේවය කලයුතු බවත් , රජයේ අනුමත ගෙවීම් රාජකාරියට අදාළ වියදම් සදහා පමණක් ගෙවන බවත් කැමති අයට එසේ මහජන නියෝජිතයන් හැටියට ඉල්ලුම් කළහැකි බව නීති ගෙන ඒමට හැකිනම් ඔය දියවනාඔයේ දැනට ලැගලා සිටින කිසිදු අම්බරුවෙක්වත් එහි නොරැ දෙනු නියතය. එය ඉර හද මෙන් විස්වාසය. මෙසේ අනේකවිද තනතුරුවලට “බල්ලන් සේ පොරකන්නේ” ඔබගේත් අපගේත් දහදිය මහන්සියෙන්, ලේ කදුලින් දුක්මහන්සියෙන් සොයාගත් මුදල්වලින් සුර සැප විදීමට හැර මහජනයාට,රටට ආදරයට නොවන බව නැවතත් කියන්නට කැමැත්තෙමු.

LEAVE A REPLY

Previous articleයුද්ධයක් අබිමුව සිටි උතුරු කොරියාව සහ දකුණු කොරියාව මිතුරන් බවට පත් වේවිද?
Next articleලක්ෂ්මන් වසන්ත ගත්තොත් ලග්ගල පොහොට්ටු මන්තී‍්‍රවරු දැඩි පියවරකට සැරසෙති