එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ නව කැබිනට් මණ්ඩලයක් අද (14) දිවුරුම් දීමට නියමිතව ඇති බව එජාප නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඊයේ (13) රිවිරට අනාවරණය කළේ ය.

ඒ අනුව සතියේ කැබිනට් හමුව ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ දී අද (14)  උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත. අදාළ අවස්ථාවේ දී හෝ කැබිනට් හමුවෙන් පසුව නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි හෙතෙම සඳහන් කළේ ය.

නමුත් කැබිනට් මණ්ඩලය පත් කරනවාද, නැද්ද හෝ ඊට එකඟ වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල වශයෙන් කළ ප්‍රකාශයක් ඊයේ රාත්‍රී වනතුරුත් මාධ්‍යයට නිකුත්  වූයේ නැත.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් පෙරේදා රාත්‍රියේ පැවැත්විණි. එම හමුවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද එක්ව සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ හමුවේදී අගමැති ධුරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි ලෙස විරෝධය පළකර ඇති බව වාර්තා වේ. ඒ අනුව නව ආණ්ඩුවක් පිහිටුවූවද එහි අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා විය යුතු බව මංගල සමරවීර ඇමැතිවරයා ජනාධිපතිවරයා වෙත ජු ලෙස අදාළ හමුවේ දී දන්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සැකසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගෙන් 15-20 ක් හෝ ඊට වැඩි පිරිසක් සහාය ලැබිමට නියමිත බව එජාප නියෝජ්‍ය මහ ‍ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එජාප තනි ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රී 8ට පමණ ජනාධිපති නිල නිවසට ගොස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමට නියමිතව තිබිණි.

අදාළ හමුවට පෙර එජාප මන්ත්‍රී කණ්ඩායම සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී ඊයේ රාත්‍රී 8.00  පමණ වනතුරු පැවැත්විණි.

එම හමුවේ දී ද එජාපය තීරණය කර තිබුණේ තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවය. මේ අතර අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීමේ යෝජනාවක් ලැබි ඇත්දැයි කථානායක කරු ජයසූරිය මහතාගෙන් රිවිර ඊයේ විමසීමක් කළේ ය.

එවන් යෝජනාවක් ලැබෙන්න ඕනේ පක්ෂයෙන්. මම අගමැති ධුරයක් ඉල්ලුම් කරලා නැහැ. මට දැනුම් දීලත් නැහැ කථානායක  කරු ජයසූරිය මහතා පැවසීය.

මෙයට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවක්ද ඊයේ උදෑසන පැවැත්විණි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන ස්වාධීන වීමට ඉල්ලා ඇති බවද වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන කිසිදු ආණ්ඩුවකට සහාය පළ නොකරන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඊයේ රාත්‍රී සඳහන් කර තිබිණි.

එක්සත් ජාතික පක්ෂයේ දැන් සිටින මන්ත්‍රීවරුන් 104 දෙනාගේ සරල බහුතර ආණ්ඩුවක් ලෙස නව ආණ්ඩුව පිහිටුවන අතර අවශ්‍ය අවස්ථාවකදී ආණ්ඩුවේ බහුතරය පෙන්වීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහාය පළ කිරීමට එකඟ කරවාගෙන ඇත. 2015 මහ මැතිවරණයෙන් එජාපයට 106ක මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි විය. ජාතික ලැයිස්තුවෙන් පත්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුව ස්වාධීන වූ අතර පසුව කරු ජයසූරිය මහතා කථානායක ධුරය හොබවයි. ඒ අනුව එජාපයට දැනට මන්ත්‍රී ධුර 104ක් සිටිති0.

අද නව කැබිනට් මණ්ඩලයක් සමග අමාත්‍ය ධුර අලුතින් පත්වන්නේ නම් ජාතික ලැයිස්තුවෙන් පැමිණි අයට හා ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට ඇමැති ධුර අහිමි වීමේ තත්ත්වයක් මතුව ඇතැයිද සඳහන්ය. ඊට අමතරව පසුගිය 2015 මහ මැතිවරණයෙන් දිස්ත්‍රික්කවලින් එක්සත් ජාතික පක්ෂයෙන් වැඩිම මනාප ගත් පසුපෙළ මන්ත්‍රීවරුන්ට නියෝජය ඇමැති ධුර ලබාදීම කෙරෙහිද ඊයේ යෝජනා වී තිබිණි.

මේ අතර දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන 41 දෙනාගෙන් 25කට ආසන්න පිරිසක් ස්වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට සාකච්ඡා කර ඇත.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට  දුරකථනයෙන් අමතා ඉදිරියේදී කුමන තීරණයකට එළැඹෙන්නේදැයි විමසා තිබේ. ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා යන අමාත්‍යවරුන් ස්වාධීනව සිටිනු ඇතැයි වාර්තා පළ විය.

පාර්ලිමේන්තුව ලබන සඳුදා (19) දහවල් එකට රැස්වීමට නියමිත අතර යම් දේශපාලන පෙරළියක් සිදුවේ නම් එදිනට පිල් මාරු රැසක් සිදුවීමට ඉඩ ඇත.

 

SHARE

2 COMMENTS

  1. නායෙකයෙකුට මැච් එකක් දිනන්න බැහැ කණ්ඩායමක් දෙකට බෙදාගෙන . මේ කණ්ඩායම හැදුවේ දුෂණය බීෂණය රජ කරන සමයක . හොරමැරකම් රජ කරන සමයක . පොඩි ළමය පවා හොරකම් කරන්න පෙලබුන යුගයක. අද මේ එකම ඒ කණ්ඩායමේ කොටසක් මුදල් දී නොසන්ඩාල මාධ්‍ය ආයතයක් ලවා තමන්ගේම කණ්ඩායමට එරෙහිව දවස පුරාම පහර ගහනවා . ඒ ක්‍රියාදාමයට ලය්සන් දීලය් තියෙන්නේ. මෙච්චර රටම සූරා කාපුවට අද වෙනතුරු මේ වීර මාධ්‍ය ආයතනය කතා කරලා නැහැ . ඇඉය් බයට . කෙසේ වෙතත් මේවාට දුක් විදින්නේ ජනතාව . හොරකන් කරපුවා අයකරගන්නේ ජනතාවගෙන් . ජනතාව වේලක් පිරිමහගන්නේ අමාරුවෙන් . මේකටද අවරුදු ගණන් දේශය පාලනය කලේ . එකතු වෙලා රට ගොඩනගන්න ඇවිල්ල ලැබුණු ප්‍රතිපලය අර පරණ එකමය් . හේතුව බල ලෝබය . පක්ෂ පාට . රට ගැන හිතන්න කෙනෙක් මේ රටේ ඉපදෙලා නැද්ද ? පක්ෂය ගැන හිතන අය ඉපදිලා ඉන්නේ .

  2. rata arajika kole deshiya horu saha iththek yoda andu peralapu indiyava saha amerikavaya. hamudava ekineka maree vateddith satan kala ehema velavaka unge kakulen adimin pamankada giya unva raja karavanna janathavata avashya une naha

LEAVE A REPLY

Previous articleසිරස්
Next articleතෙවරප්පෙරුම උපවාසය අත්හරී