මිර්පූර්හි පැවති දෙවැනි බංග්ලාදේශ ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ සැලසුම් පිටිය මැද දී නිසි පරිදි ක්‍රියාත්මක වූ බවත් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය සඳහා කණ්ඩායමක් ලෙස ක්‍රීඩකයන් හොඳ සේවයක් කරනු ලැබූ බවත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

චිතගොන්හි ප්‍රථම ටෙස්ට් තරගය සඳහා පන්දු යවන්නන්ට කිසිම සහායක් නොදුන් තණතිල්ලක් ලැබුණා. ඉන්පසුව මිර්පූර්හිදී සිදුවුයේ පිතිකරුවන්ට සහායක් නොලැබූ තණතිල්ලක ක්‍රීඩා කිරීමටයි. ප්‍රථම ටෙස්ට් තරගයෙන් පසුව අපි බලා‍පොරොත්තු වුණා දෙවැනි ටෙස්ට් තරගයට පන්දුව වඩාත් දඟ කැවීමට සමත් තණතිල්ලක් ලැබේවි යැයි කියා. ඒත් අපට දක්ෂ දඟපන්දු බළඇණියක් සිටි නිසා අපි ලැබිමට නියමිත තණතිල්ල ගැන පුදුම වුණා. මෙවැනි තණතිල්ලක රොෂේන් සිල්වාගේ පිතිකරණය ගැන විශේෂ ඇගයීමක් කළ යුතුයි. කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වාත් හොඳින් ක්‍රියාත්මක වුණා. කොහොම වුණත් පන්දු යවන්නන්ට වැඩි ගෞරවයක් හිමිවිය යුතු යැයි චන්දිමාල් පවසයි. අකිල ධනංජය, රංගන හේරත් හා සුරංග ලක්මාල් හොඳින් ක්‍රියාත්මක වුණා.

ඇත්තටම ශ්‍රී ලංකා පි‍ලේ පසුපෙළ පිතිකරුවන්ද හොඳ දායකත්වයක් ලබාදුන්නා. ඒ වගේම මිර්පූර් තණතිල්‍ලේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සේවයත් තණතිල්‍ලේ වාසිය ගනිමින් පන්දු යවන්නෝ ක්‍රියාත්මක වූ ආකාරයත් ඉතා ඉහළයි.  දින දෙක හමාරක් තුළ තරගය නිමාවුණේ ලකුණු 215ක විශිෂ්ට ජයග්‍රහණයක් සමගින්. කෙසේ වුවත් මෙම ටෙස්ට් තරගාවලිය වඩාත් හොඳ එකක් බව චන්දිමාල් ප්‍රකාශකළේ කණ්ඩායමේ ක්‍රීඩකයන් තමන්ගේ විශ්වාසය උපරිමව ගොඩනගා ගත් හෙයිනි. මේ අතර නව පුහුණුකරු චන්දික හතුරුසිංහ එක්වීමත් සමග ක්‍රීඩකයන් අතර හොඳ ජීවයක් ගොඩනැගී ඇති බවද චන්දිමාල් පවසයි.

ශ්‍රී ලංකා පිල නැවතත් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණයේ උණුසුමත් මැකී යාමටත් පෙර හෙට (15) විස්ස-20 තරගාවලියට පිවිසෙන්නේ මිර්පූර් තණතිල්‍ලේම දෙරට අතර ප්‍රථම තරගයට මුහුණ දෙමිනි. කෙසේ වෙතත් බංග්ලාදේශ පිලට නවක ක්‍රීඩකයන් කිහිප දෙනකු එක්වෙන අතර නායක සකීබ් අල් හසන් ප්‍රථම තරගයට ආබාධය නිසා තවමත් ශාරීරික යෝග්‍යතාවට පත්ව නැති බව අනාවරණය වේ.

ධම්මික රත්නවීර