පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් සංවිධායක කපිල සුදන්ත කලූපහන ඇතුළු පිරිසක් විසින් පෙරේදා (12* රාත‍්‍රියේ පොදු ජන පෙරමුණේ ආධාරකරුවකුගේ නිවසකට පහර දී අලාභ හානි කිරීමේ සිදුවීමකට අදාළව දිස්ත‍්‍රික් සංවිධායකවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවකු වන ත‍්‍රිකුණාමලය විජිතපුර පදිංචි ඒ්.ටී. රුවන් තිලක යන අයගේ නිවසට මෙසේ පහර දී හානි කර තිබූ අතර මෙම පහරදීමෙන් නිවැසියන්ට කිසිදු හානියක් සිදු වී නොතිබුණි. මෙම පිරිස ප‍්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේම නිවාසවලට ගොස් බැණවැදී තර්ජනය කළ බව එම ව්‍යාපාරිකයන් පැවැසූහ.

අනතුරුව පැමිණි පිරිස ත‍්‍රිකුණාමලය තොග මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණ එහි සිටි ව්‍යාපාරිකයන්ටද පහර දී තිබුණි. පහරකෑමට ලක්වූ මාළු ව්‍යාපාරිකයකු වන ඒ.එල්. සමන් මහතා පැවැසුවේ කඩු පොලූ රැුගෙන ආ මේ පිරිස තමන්ටද බැණවැදී පහර දුන් බවත් මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරාවල මෙම සිද්ධිය සටහන්වී ඇති බවයි. මැතිවරණයේ ජය සමරා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් විසින් පැරදුන එජාප දිස්ත‍්‍රික් සංවිධායකවරයා ගේ නිවස ඉදිරිපිට රතිඤ්ඤා දල්වා ප‍්‍රීතී ඝෝෂා පැවැත්වීම මෙම ගැටුමට හේතුව වී තිබේ.

පහරදීම සිදුකළ දිස්ත‍්‍රික් සංවිධායකවරයා සහ තවත් සැකකරුවකු ත‍්‍රිකුණාමලය නගරයේදී රාත‍්‍රියේදීම අත්අඩංගුවට ගත් බවත් ඔවුන් ත‍්‍රිකුණාමලය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මූලස්ථාන පොලිසිය පැවැසීය.

කේ.බී. ලක්මාල් – ත‍්‍රිකුණාමලය