පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ දේශපාලන සංවාදය වෙනත් පැත්තකට යොමුවී තිබේ. මැතිවරණයට පෙර සිටම හවුල් ආණ්ඩුවේ යම් යම් අර්බුද මතුවිය. එනිසා ආණ්ඩුවට සම්මුතිකවාදී ගමනක් යා නොහැකි බවට විවිධ මත පළවිය. විශේෂයෙන් ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්ව නියෝජනය කරන මැති ඇමැතිවරු එජාපයෙන් තොර ආණ්ඩුවක් ගැන ජනාධිපතිවරයාට මැසිවිලි නැගුවේ වරක් දෙවරක් නොවේ. ශ්‍රීලනිප පාර්ශ්වයේ පමණක් නොව, එජාප පාර්ශ්වයද ශ්‍රීලනිපයෙන් තොර තනි යූඇන්පී ආණ්ඩුවක් ගැන කතාබහක නිරත වූ බව අමුතුවෙන් කිව යුතු නැත. මේ අතර පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් අලුත් ආණ්ඩුවක් හැදීමේ කතාබහක්ද පහුගිය කාලයේ පැතිර ගියේය.

මේ ආණ්ඩුව වෙනස් කිරීමේ සංවාදය උණුසුම් අතකට යොමුකිරීමට පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තීරණාත්මක බලපෑමක් කරමින් තිබේ. බැලූ බැල්මට පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ජාතික ආණ්ඩුවක් වෙනස් කිරීමට සාධකයක් නොවන බව කිව යුතු නොවේ. එහෙත් මෙහිලා පැන නගින ගැටලුව නම් යහපාලන ආණ්ඩුව ළදරු වියේ පසුවෙද්දීම ඒ පිළිබඳ ප්‍රබල ජන විරෝධයක් මතුවීමය. 2015 ජනාධිපතිවරණයේදී සහ ඉන්පසුව පැවැත්වූ මහ මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවට සහයෝගය පළ කළ ජනතාව දැන් අහක බලාගෙන තිබේ. මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළ ඒ ජන බලවේගය යළි ඔහු වටා කේන්ද්‍රගත වෙමින් තිබේ. සැබැවින්ම මෙය ආණ්ඩුව මුහුණදුන් බරපතළ දේශපාලන අර්බුදය බව සඳහන් කළ යුතුය. ආණ්ඩුව විවිධ කතා කියමින් දෙගොල්ලන්ට චෝදනා කරමින් කල්මැරීම ආණ්ඩුවෙන් ජනමතය වෙනතකට යොමුවීමට මූලික වශයෙන් බලපෑ හේතුවකි. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයෙන් පසු බෙහෙවින් අභියෝගයට ලක්ව ඇත්තේ සම්මුතිවාදී ආණ්ඩුවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහගේ තීරණය කුමක්දැයි සියලු දෙනා විමසිලිමත් වන්නේ ඒ නිසාය.

ජයග්‍රාහී මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සඳහන් කරන්නේ වහාම මහා මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුව පියවර ගත යුතු බවය. යම් යම් ආරංචි මාර්ග විනා ජනාධිපතිවරයා මේ පිළිබඳ දරන අදහස තවම පැහැදිලි නැත. ඔහු තම අදහස ජාතිය අමතා ප්‍රකාශ කරන බවට ප්‍රචාරයක් ගියද මේ වැකිය ලියන විටද ඔහු ජාතිය අමතා තිබුණේ නැත.

කොහොම නමුදු අද (14) පැවැත්වීමට නියමිත කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා ඒ පිළිබඳ තම ස්ථාවරය දැක්වීමට ඉඩ තිබේ. දේශපාලන සෙල්ලම් කෙසේ වෙතත් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු වගකිවයුත්තන් හමුවේ තිබෙන ප්‍රධාන වගකීම නම් රට අරාජික නොකර පාලනය කිරීමය. අපට පෙනෙන පරිදි මේ දේශපාලන අර්බුදය උග්‍ර අතකට හැරුණහොත් කිසිදු තීන්දුවක්, තීරණයක් ගත නොහැකි අරාජික තත්ත්වයකට රට යොමුවනු ඇත. එය අතිශය බිහිසුණු ප්‍රතිඵල උදාකරනු ඇත. විශේෂයෙන් ආණ්ඩුවක්, රාජ්‍යයක් වශයෙන් ගතයුතු තීන්දු, තීරණ ගැනීම ප්‍රමාද වන්නේ නම් එමගින් සම්පූර්ණයෙන්ම රට අකර්මණ්‍ය තැනකට පත්වනු ඇත. ඉහළ සේම පහළද පරිපාලනය බිඳ වැටෙනු ඇත.

එහෙයින් අලුත් ආණ්ඩුවක් හදනවාද, තිබෙන ආණ්ඩුව ඒ විදිහටම පවත්වාගෙන යනවාද යන්න පිළිබඳ නොපමාව එකඟතාවකට පැමිණීමට ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කළ යුතුය. විශේෂයෙන් හිටපු ජනාධිපතිවරයා බඳු පරිණත නායකයන් රට අරාජික තත්ත්වයකට යොමුවන ආකාරයට කටයුතු නොකරනු ඇත. මේ සියලු දෙනාම එකතු වී ඡන්දය ලබාදුන් සහ නොදුන් ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුකළ යුතුය. දිගටම දේශපාලන සෙල්ලම් නරඹා ජනතාව  වෙහෙසට පත්ව තිබේ. අනෙක් කරුණ නම් පෙර කී ආකාරයකට අරාජික තත්ත්වයක් රටේ විවිධ බලවේග ඉස්මතු වනු ඇත. බොරදියේ මාළු බෑමට උත්සාහ කරන බලවේග හිස ඔසවනු ඇත. ගෝලීය සමාජයක ආණ්ඩුවක් යනු හුදෙක් රටකට සීමාවූ සෙල්ලමක් නොවේ. නොයෙක් රටවල්, බහුජාතික සමාගම් ආණ්ඩු හැදිල්ලට අත දමයි, මුදල් ‍පොම්ප කරයි, නොයෙක් බලපෑම් කරයි. අපේ වැනි බෙහෙවින් දුර්වල මට්ටමේ තිබෙන රටකට එවැනි බලපෑම් කිරීම මහ ලොකු කජ්ජක් නොවේ. අපේ රට එවැනි බලපෑම්වලට ඕනෑ තරම් ලක්ව තිබේ. එනිසා ඉතා වගකීමෙන් කටයුතු කිරීමේ තීරණාත්මක අවස්ථාවකට අප එළැඹ තිබෙන බව පෙනේ.

මේ අවස්ථාව නිසි පරිදි කළමනාකරණය කරගැනීමට නම් හුදෙක් දේශපාලන බලය තකා සෙල්ලම් කිරීම නතර කළ යුතුය. ඒ වෙනුවට පළමුව රට සහ රටවැසියන් ගැන කල්පනා කරන තැනකට අපේ දේශපාලනය යොමුවිය යුතුය. එක් පැත්තකින් පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රකාශිත ජනවරමත්, 2015 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවට ලබාදුන් ජනවරමත් අතර පැහැදිලි පරස්පරයක් නිර්මාණය වී තිබෙන බව පැහැදිලිය. මේ පරස්පරය අර්බුදයකට හේතු නොකරගෙන කටයුතු කිරීමට ආණ්ඩු ප්‍රධානීන් සහ අනෙකුත් පරිණත දේශපාලනඥයන් පියවර ගත යුතුය.