සිය ගෙවත්තේ ‍පොල් ගසක් මුලට මලකඩ සහිත බෝම්බ දෙකක් ගෙනැවිත් දමා ඉපලෝගම ‍පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් වයෝවෘද්ධ සැමියාව අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය පිළිබඳව අනුරාධපුර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරීන් දැනුවත් කළ ද මතෛක් සාධාරණයක් ඉටු නොවූ බව ඔහුගේ බිරිඳ පැවසුවාය.

අධි රුධිර පීඩනයෙන්, හෘදයාබාධයකින් හා රුධිරයේ සීනී මට්ටම ඉහළ යාමේ රෝගය හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ පීඩා වි`දින ඔහු දැඩි මානසික කම්පනයකින් සිරමැදිරියේ කල්ගෙවන බව බිරි`ද හ`ඩමින් පැවසුවාය.
ඉපලෝගම, ශාන්තගම, කුංචිකුලමේ පදිංචි රාජ්‍ය විශ‍්‍රාමික සේවකයකු වන 72 හැවිරිදි පස්දරු පියකු වූ ලොකු රාලගේ ඇක්මන් මහතාව ඉපලෝගම පොලිසිය මගින් බෝම්බ සිද්ධියකට පටලවා පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා අත්අඩංගුවට ගත් බව ඥාතීන් පැවසූහ.

කිසි දිනක සිදු නොකළ බරපතළ ගණයේ අපරාධයකට අසුකර අධිකරණයට අසත්‍ය කරුණු වාර්තා කරමින් ජීවිතයේ අවසන් සමයේ සිය සැමියා රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබ`දව දැඩි කනස්සලට පත්වී සිටින ඔහුගේ බිරි`ද වන බී.ටී. සීලවතී (64* මහත්මිය ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපතිවරයා හා අනුරාධපුර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීන් සිදුකරන අසාධාරණය පිළිබ`දව සිය අප‍්‍රසාදය පළ කළාය.

බොරු බෝම්බ සිද්ධිය පිළිබ`දව අදහස් දැන්වූ ඇය
”ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපතිවරයා හා ඔහුගේ තවත් නිලධාරියකු එකතු වෙලා තමයි මේ පහත් ක‍්‍රියාව සිදු කළේ. අසරණ තත්ත්වයෙන් පසුවන සැමියාට එල්ල  කළ බොරු චෝදනාවට සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා පොලිස් කොමිසමට, අගමැතිතුමාට, සාගල රත්නායක ඇමැතිතුමාට, මානව හිමිකම් කොමිසමට අපි ලිඛිතව පැමිණිලි කළා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට කියලා අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ඇවිල්ලා පරීක්ෂණ කළා නමුත් ප‍්‍රතිඵල නෑ.

ඊට පස්සේ එතැන පරීක්ෂා කරලා කුණු රොඩු අස්සේ තිබිලා හො`දටම මලකඩ කාපූ බෝම්බ දෙකක් එළියට ගත්තා. අලූත්ම ෂොපින් බෑග් තුනක ඒක දාලා තිබ්බේ. අ`ගල් හයක් පොළොව යට තිබුණා කියලා තමයි අධිකරණයට ස`දහන් කළේ. එහෙම නම් ඒ බෑග් අලූත් පැහැයක් ගන්න බෑ. අනික ඒ දවස් ටිකේ මේ පැත්තට වැස්සා. අ`ගල් හයක් යටින් තිබ්බ බෑග්වල මඩ ටිකක්වත් තැවරෙන්න එපැයි.

මලකඩ කාපු බෝම්බ දෙකක් ගෙනැල්ලා වත්තේ වළ දාගන්න  ඕන නෑ. අනික මහත්තයා බෝම්බවලින් කාට ගහන්නද? මෙච්චර පරණ බෝම්බ දෙකක් වත්තේ තිබුණන් අපේ වත්තේ ආයුධයි රත්තරනුයි වළදාලා තියෙනවා කියලා 2017 අපේ‍්‍රල් මාසේ 13 වෙනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය මැෂින් දාලා පරීක්ෂා කළා. (මෙටල් ඩිටෙක්ටර්* අඩි අටක් පොළොව යට තියෙන දේවල් මැෂිමට අහුවෙනවා කිවුවා.

එහෙම නම් අ`ගල් හයක් යට තිබ්බ බෝම්බ දෙක එදා අහුවුණේ නැත්තේ ඇයි? මේක පොලිසියේ නිර්මාණයක්. බෝම්බ හම්බ වුණාට පස්සේ පුතාව දීපන් කියලා කිවුවා. පුතාව දෙන්න පුතා ගෙදර හිටියේ නෑ. පුතාගේ බෝම්බ තාත්තගේ වත්තේ වළදාන්න  ඕන නෑනේ කියලා අපි පොලිසියට කිවුවා. මේ බෝම්බ දෙක පොලිසියට පුතාගේ වත්තේ වළ දාන්න විදියක් නෑ. එයාගේ නිවසේ කැමරා හයිකරලා තියෙන නිසා. නමුත් පුතාව පටලගන්න තමයි මේ පහත් වැඬේ කළේ.

ස්ථානාධිපති උදව් කරන හිච්චා කියලා කසිප්පු ජාවාරම්කාරයෙක් මේ පැත්තේ ඉන්නවා. ඒ මිනිහා කසිප්පු පෙරන්න වත්ත ඉල්ලූවා. මහත්තයා කිවුවා ඒවට මගෙන් ඉඩක් නෑ කියලා. ඊට පස්සේ දෙන්නා එකතු වෙලා මේ උගුල ඇටෙවුවා. හිච්චා වත්තේ ඉ`දලා පැනලා යනවත් මිනිස්සු දැකලා තියෙනවා. අපි කිවුවා බෝම්බ අත්අඩංගුවට ගත්ත වෙලේ බෝම්බවල ඇ`ගිලි සලකුණු ගන්න කියලා. ඇ`ගිලි සලකුණු ගත්තේ නෑ. අපි කිවුවා පොලිස් බල්ලෝ දාන්න කියලා. දැම්මේ නෑ. මොකද බෝම්බවල ඇ`ගිලි සලකුණු  ඕ.අයි.සී. මහත්තයගේ. පොලිස් බල්ලා දැම්ම නම් බල්ලා කඩාගෙන පනින්නේ  ඕ.අයි.සී. මහත්තයට.

ලොකු නිලධාරීන්ට කිවුවට වැඩක් නෑ. පරීක්ෂණ පවත්වලා වාර්තා යට ගහගන්නවා. ලොකු මහත්වරු හම්බවෙන්න ගියාම උඹලා පතාලේ කියලා කෑ ගහනවා.  ඕ.අයි.සී. කියනවා උඹලට පුළුවන් දෙයක් කරපල්ලා මම පොලිස්පතිගේ ඥාතියෙක් මාව මෙතනින් හොලවන්න තොපිට බෑ කියලා. පීඩාකාරී අවි පනතේදී සැකකරුවකු අත්අඩංගුවට ගන්න ක‍්‍රමවේදය මුළුමනින්ම උල්ලංඝනය කරලා තමයි මගේ මහත්තයා බොරුවට අත්අඩංගුවට අරගෙන හිරකරලා තියෙන්නේ.” යනුවෙන් ඇය හ`ඩමින් පැවසුවාය.  අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකයකු වශයෙන් සේවය කර විශ‍්‍රාම ලබා සිටින ඒ මහතා වසර 72ක කාලය තුළදී කිසිදු විනය විරෝධී ක‍්‍රියාවකට ආයතන මට්ටමින් හෝ වෙනත් ආකාරයකින් චෝදනා ලබා නැති බවද බිරි`ද පැවසුවාය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී තිළිණ ප‍්‍රියංකර හේවාපතිරණ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසුවේය.

”බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අවසන් නැති නිසා නිසා මට ප‍්‍රකාශ දෙන්න බෑ. අපි විශේෂ පරීක්ෂණයක් පැවත්වූවා. ඒකේ අවසන් ප‍්‍රතිඵල මට තවම ලැබිලා නෑ.” යනුවෙන් පොලිස් අධිකාරිවරයා පැවසුවේය.

බුද්ධික විජේසූරිය – අනුරාධපුර