ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුව ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් බලයට පැමිණීම වැළැක්වීමත්, ඒ සඳහා වත්මන් ආණ්ඩුව ශක්තිමත් කිරීමත්, දෙමළ ජාතික සන්ධානයේ අරමුණ වී ඇත.

දෙමළ ජාතික සන්ධානයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ එම සන්ධානයේ නියෝජිත දේශපාලන පක්ෂ තුනේ නායකයන් අතර ආණ්ඩුව ශක්තිමත් කිරීමට ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇත.
පළාත් පාලන ආයතන මැතිවරණයේ දී දකුණේ පළාත් පාලන ආයතන රැසක බලය ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට හිමිවීමත්, ඒ තුළින් මහින්ද රාජපක්ෂ මහතා දකුණේ දේශපාලනයේ පෙරට පැමිණීමත් මත මෙම සාකච්ඡා ආරම්භ වී තිබේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පසුගිය 11 වැනිදා යාපනයේ පිහිටි සිය කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත්තේද මේ ප්‍රතිඵලය අනුවය.

උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුම් ගෙන ඒම, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කර ගැනීම ඇතුළු දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවීමට නම් වත්මන් රජය ශක්තිමත් කළ යුතු බව එම සාකච්ඡාවේ දී තීරණය වී ඇත.

එෆ්. අස්ලම්