මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කළ ඩබ්.එම්. ශිරෝමාලා මහත්මිය ලංකා ඉතිහාසයේ ප්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය ලෙස තේරී පත්ව තිබේ.
දෙහිඅත්තකණ්ඩිය, හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරග කළ ඇය ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.

ඇය මෙම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නියෝජනය කරමිනි. තම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ඇය මෙසේ පැවසුවාය.
“මේ ජයග්‍රහණය ගැන සතුටුයි. අපේ රැහේ ඇත්තන්ට මතෛක් විසඳාගන්න බැරිවුණු ප්‍රශ්න රැසක් තිබුණා. ඒ ප්‍රශ්න ටිකක් හරි විසඳගන්න දැන් උත්සාහ කළ හැකියි. ඒ විශ්වාසය නිසා තමයි රැහේ අය මාව පත්කර ගත්තේ.
ඒ වගේම ගිලිහී යන අපේ සංස්කෘතිය රැකගන්න ගමේ රටේ සංවර්ධනයට උපරිමයෙන් සහාය දක්වන්න, ඉදිරි පළාත් සභා වගේම පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් වෙන්න මම බලා‍පොරොත්තු වෙනවා.”

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ආදිවාසී පරපුරේ කාන්තාවක මන්ත්‍රීවරියක වීම පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“අපේ රැහේ කැකුලියක් මන්ත්‍රීවරියක් වීම ගැන ලොකු සතුටක් පපු කැනැත්තට එනවා. ඒ වගේම හිත්‍පොජ්ජට බයකුත් දැනෙනවා. මොකද අපේ රටේ ඉන්න දේශපාලනඥයන් පාලකයන් නොවෙයි. ජනතාව රවටමින් රට විනාශ කරන ක්‍රම අනුගමනය කරන තැනකට යන නිසා කල්පනාකාරී විය යුතුයි. අපි කොතැන ගියත් අපේ සංස්කෘතිය ආරක්ෂා කළ යුතුයි.”

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්/දීපා වසන්ති එදිරිසිංහ