ප්‍රසිද්ධ දේශපාලනයට සම්බන්ධ වීමට තවමත් අදහස් කරගෙන නොමැති බව හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිට ඊයේ (12) පෙරවරුවේ දී ගුවන් මගින් මෙරටට පැමිණි අවස්ථාවේ දී, දේශපාලනයට ඔබ සම්බන්ධ වෙනවාදැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඒ බව කියා සිටියේ ය.

හිටපු ආරක්ෂක ‍ලේකම්වරයා ඇමෙරිකාවේ සිට ඩුබායි හරහා කටුනායක ගුවන්තොටු‍පොළට ඊයේ පෙරවරු 8.10 ට පැමිණියේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍ය තනතුර පිරිනැමුවහොත් ඔබ භාර ගන්නවාදැයි මාධ්‍යවේදියකු හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාගෙන් කළ විමසීමකදී කියා සිටියේ, “බෑනේ මම ඇමෙරිකානු පුරවැසියෙක්නේ” යනුවෙනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා.

හිටපු ජනාධිපතිගේ වැදගත්කම අද හැමෝටම තේරිලා තියෙනවා. බොරු ප්‍රචාර නිසා සමහර කොටස් පසුගිය කාලයේ දී රැවටුණා. ඒ රැවටුණු බව අවුරුදු තුනකින් හොඳට තේරුම් ගත්තා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයක් නැවත අවශ්‍ය බවයි මහජනතාව කියා තියෙන්නේ” යැයි පැවසීය.
හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාව

රංජිත් ෆර්ඩිනැන්ඩස් – ගුවන්තොටු‍පොළ