මිනිසා තුළ නිධන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරුකිරීමට ඉවහල්වන “ප්‍රඥා ලෝකය පැතිරේවා” යන ප්‍රාර්ථනයෙන් යුක්තව සමස්ත ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුතුව උපවාසශීලය සමාදන්වන්නා වූ මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සමස්ත ලෝකයටම ශාන්තිය උදාවේවායි ප්‍රාර්ථනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශුභාශිංසනය කරයි.

ජනාධිපතිවරයා මෙම සුබපැතුම් එක්කර ඇත්තේ අදට (13) යෙදී ඇති මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමිනි. ජනාධිපතිවරයා එම පණිවුඩයේ මෙසේ ද සඳහන් කර ඇත.

පංච්ෙන්ද්‍රයන්ට නතුව, සිත අයා‍ලේ යා නොදී නිශ්චිත අරමුණක පිහිටුවා ගනිමින් දේව බැතියෙන් යුතුව ශිව භක්තිකයන් විසින් පිළිපදිනු ලබන උපවාස අතර, මහා ශිවරාත්‍රී උපවාසය සුවිශේෂී තැනක් හිමිකර ගනී. මෙදින නොනිදා රැය පහන් කරමින්, එම කාලය තුළ ශිව දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් දැන හෝ නොදැන තමන් අතින් සිදු කෙරුණා වූ පාපයන්ට සමාව ලැබි, දුක්ඛ දෝමනස්සයන් දුරස්වී සිතට ශාන්තියත්, නිරත කාර්යයන්හි ජයග්‍රහණයත්, අවසානයේ මෝක්ෂයත් අත්කර ගැනීමට හේතුවන බව ශිව බැතිමතුන්ගේ විශ්වාසයයි.

එසේම මෙම ශිව රාත්‍රී වත් පිළිවෙත් සමග මිනිසා තුළ ඇති මමත්වයත්, අහංකාරයත්, නැතිවී එයින් ස්වකීය ජීවිතය සුඛිත මුදිත කර ගැනීමට අවස්ථාව සැලසෙන බව ශිව බැතිමතුන්ගේ පිළිගැනීම වී තිබේ. ඒ අනුව මහා ශිව රාත්‍රී උපවාසය මිනිස් සිත් සතන් හි හටගන්නා නපුරු සිතිවිලි නමැති අඳුර දුරලා, ප්‍රඥාව නමැති ආලෝකය දල්වාලයි. ඒ අනුව එය මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමටද මං පාදයි.

මානව සංහතිය යහමග යවන්නටත්, ආගමික විශ්වාසයන් හා සමාජ යහ පැවැත්ම වඩ වඩාත් මිනිස් සමාජය තුළ තහවුරු කරන්නටත් හේතු වන මහා ශිව රාත්‍රීදිනය සමරන ශිව භක්තිකයන් සියලු දෙනාට මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.