රහස් ‍පොලිස් මූලස්ථානය තුළ දී එවකට සහකාර ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට බැණ මරණ තර්ජන එල්ල කරන ලදැයි නීතිපතිවරයා නගා තිබූ අධි චෝදනාවට වරදකරු වූ හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට, බරපතළ වැඩ සහිතව වසර 05 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (12) නියම කළේ ය.

මොහොමඩ් සියාම් ඝාතන නඩුවෙන් දැනට මරණ දඬුවම නියම වී සිටින විත්තිකාර වාස් ගුණවර්ධන මහතාට නියම කළ සිර දඬුවමට අමතරව රුපියල් 25,000 ක දඩ මුදලක්ද ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් අමතර වසරක සිර දඬුවමක් ද නියම කළේ ය.

විත්තිකාර වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා නගා තිබූ එක් අධි චෝදනාවකට පමණක් වරදකරු කරමින් විනිසුරුවරයා එලෙස දඬුවම් කළ අතර, අනෙකුත් අධි චෝදනා 05 න් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේ ය.
2013 ජුනි මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ කොටුව පිහිටි රහස් ‍පොලිස් මූලස්ථානය තුළ දී එවකට සහකාර ‍පොලිස් අධිකාරී (වත්මන් රහස් ‍පොලිසියේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී) ශානි අබේසේකර, ප්‍රධාන ‍පොලිස් පරීක්ෂකවරුන් වන රංජිත් මුණසිංහ, ලාලිත ගීතාංජන ගුණවර්ධන යන මහත්වරුන්ට තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා නගා තිබුණි.

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවට අදාළව විත්තිකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අවස්ථාවේ දී “මට තේරුණා උඹලා මට මේ වැඩේ කරනවා කියලා. හැබැයි හැමදාම උඹලට මාව මේක ඇතුළේ තියාගන්න බෑ. ශානි මං මිනීමරුවෙක්. මං එළියට ගියදා උඹලට කරන දේ බලා ගනිල්ලා” කියමින් ශානි අබේසේකර මහතා ඇතුළු රහස් ‍පොලිස් නිලධාරින්ට මරන තර්ජනය කරන ලදැයි නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව තවදුරටත් අධි චෝදනා නගා තිබුණි.

ඉෂාර රත්නකාර