මහින්ද ඉල්ලන දේ

වහාම මහ මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුව පියවර ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මහ මැතිවරණයකට ගොස් ජනතාවට තීන්දුව දීමේ අවස්ථාව ලබා දෙන්නැයි යන පණිවුඩය මේ ප්‍රතිඵලය පිටුපස ඇතැයිද ඒ මහතා කීවේය.

පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව දරුණු පරාජයක් ලබා ඇති හෙයින් ශක්තිමත් ආණ්ඩුවක් පත් කර, රට අස්ථාවරභාවයෙන් මුදාගත යුතුව ඇතැයිද ඒ මහතා සඳහන් කළේ ය.
කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් තෝරා පත්කර ගන්නවාට වඩා එහා ගිය ජාතික වටිනාකමක් සහිත ජනමත විමසුමක තත්ත්වයට මෙවර මැතිවරණය පත් වුණ බවද හෙතෙම සඳහන් කළේ ය.

විශේෂයෙන් රට බෙදීමට, සම්පත් විකිණීමට, බදුබර වැඩි කිරීමට, සහන කප්පාදුවට, රණවිරු දඩයමට, දිගින් දිගටම කෙරෙන පළිගැනීම්වලට එරෙහි ජනමත විමසුමක් බවට මැතිවරණය පත්වුණු බවද ඒ මහතා අවධාරණය කළේ ය.
ජනමතයට ගරු කරන ආණ්ඩුවක් නම් පාර්ලිමේන්තු යෝජනාවක් මගින් මහ මැතිවරණයක් පැවැත්වීමේ පසුබිම වත්මන් ආණ්ඩුව සකස් කළ යුතු බවද ඒ මහතා ඊයේ (12) නෙළුම් මාවතේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ ය. (රන්මලී සෝමසිරි)


 

මෛත්‍රිගේ තීන්දුව

සම්මුතිවාදී යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (14) උදෑසන 9.00ට පැවැත්වෙන කැබිනට් හමුවේ දී විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එදිනම ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රීලනිප ඇමැතිවරුන් ද හමු වී ආණ්ඩුව සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග දැනුම්දීමට නියමිත බව එම ආරංචි මාර්ග ‘රිවිර’ට අනාවරණය
කළේය.

2015 ජනවාරි 08 ජන වරම අනුව ලබාදුන් මූලික ‍පොරොන්දු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඉදිරි වසර දෙක තුළ කටයුතු කිරීමට ජනාධිපති සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා ස්වාධීනව කටයුතු කිරීමටත් දූෂිතයින්ට දඬුවම් දීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර, දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මැදිහත්වීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ඇති වූවා යැයි කියන එකඟතා පිළිබඳ ඇතැම් මාධ්‍ය තුළ විවිධ මත පළ වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
පළත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එවැනි කිසිදු තීරණයකට හෝ එකඟතාවකට එළැඹ නැති බැවින් එම මාධ්‍ය වාර්තා ප්‍රතික්‍ෂේප කරන බව එහි සඳහන් වේ. (චමින්ද සේනාරත්න)


 

රනිල් කරන දේ

එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප ප්‍රබලයන් ඊයේ (12) දිනයේ දී තීරණය කළ බව එම පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් රිවිරට පැවසීය.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශිර්වාදය මැද නව ආණ්ඩුව පිහිටුවන බවත්, ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ මේ වන විටත් ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම නව එජාප ආණ්ඩුව ඉදිරි දින කීපයේ දී ක්‍රියාත්මක වීමට නියමිත බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පිරිසට සිය අභිමතය පරිදි එක්වීමට හෝ ඉවත්ව යාමට නිදහස ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසර දී ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.

නව එජාප ආණ්ඩුවේ වෙනස්කම් ඉදිරියේ දී සියලු දෙනාටම දැක ගැනීමට හැකියාව උදාවනු ඇති බවද ඒ මහතා පැවසීය.

SHARE

3 COMMENTS

  1. Dan. mahinda ge. pawule. kattiya karapu
    horakam walata , marakam walata. daduwam denna
    lasthi wenna , thawath parakku nokara , samanya. purawasiya
    waradi karapu. gaman usavi damala. hiragedara. muntika
    thawamath. eliye. chadetath. wada. , ape nadu ahanna. puluwan
    a welawema. ayi. munta. bari. katada. baya , api serama minissu
    eka ratak. nadu ahanna. vitharak. wena kramayak. , , mahinda. polowe pas
    tikath. huran kawa. kaduwak. hoyamin , athata. ahuwunath. dakke Naha. wage
    innawa. , nawatha. maha mathi wara nayata yanna. kalin. munge. nadu ahanna

  2. Why only Mahinda what about Ranil and Ravi and bond scam group. Punish them all as well . Maithree be careful from Ranil ……..
    He will take you to Jail as well . As he is planning it now and ways and means are on the way.

  3. මේ රට අරුම පුදුම රටක් , කල්පයක් තිස්සේ මේ මහජනයා කොමිස් ණය මුදල් ගෙවා ගෙවා දුක් විදිනවා .දිනපු අය හෙට අනිද්දා වෙද්දී කෝටිපතියෝ . එකතුවෙලා රට ගොඩගන්නවා වෙනුවට පක්ෂ පාට ලොකුවුනා. රටට මොනවා වුනත් කමක් නැහැ. දැන් හදන්න දෙයක් ඉතුරු වෙලා නැහැ .

LEAVE A REPLY

Previous articleහොරණ ප‍්‍රාදේශීය සභාව රැස්වෙන්න තැනක් නෑ - මන්ත‍්‍රීවරු හිටියේ 23 යි දැන් 51 යි
Next articleසිරස්