කිරිඇල්ලගෙන් නිර්දේශයක්

මහනුවර මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නගරාධිපතිවරයා ලෙස කේසර සේනානායක මහතා පත් කිරීමට මහනුවර එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නිර්දේශ කර තිබේ.
මහනුවර මහ නගර සභාවේ හිටපු නගරාධිපති කේසර සේනානායක, හිටපු නගරාධිපති රාජා පුෂ්පකුමාර, හිටපු නියෝජ්‍ය නගරාධිපති සුමින්ද වික්‍රමසිංහ සහ විපුල රණසිංහ යන මන්ත්‍රීවරුන් මෙවර මහනුවර නගර සභාවේ නගරාධිපති ධුරය බලා‍පොරොත්තුව සිටියහ.
මහනුවර එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඊයේ (12) මේ සම්බන්ධව මහනුවරදී සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාවෙන් අනතුරුව නගරාධිපතිවරයා ලෙස හිටපු නගරාධිපතිවරයෙක් වූ කේසර සේනානායක මහතා පත් කිරීමට නිර්දේශ වී ඇත. නියෝජ්‍ය නගරාධිපති ධුරය විපුල රණසිංහ මන්ත්‍රීවරයාට හෝ ඉලාහි ආබ්දින් මන්ත්‍රීවරයාට ලබාදීමටද නිර්දේශ වී තිබේ.
මෙවර මහනුවර මහ නගර සභාවේ සියයට පනහක බහුතරයක් නොමැති නිසා නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීමට ඉදිරියේදී සභාවේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ලබා ගැනීමටද සිදුවනු ඇත.

‍පොහොට්ටුවත් ලෑස්තියි

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ විසින් මේ වන විට මහනුවර මහ නගර සභාවේ බලය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව මහනුවර නගර සභාවේ හිටපු නගරාධිපති සේන දිසානායක මහතා පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් මහනුවර මහ නගර සභාවට තරග කළ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 26,798ක් ලබාගෙන මන්ත්‍රීවරු 19 දෙනකු තේරී පත්ව තිබේ. ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ඡන්ද 23,000ක් ලබාගෙන මන්ත්‍රීවරුන් 16 දෙනකු තේරී පත් වී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 4,486ක් ලබාගෙන මන්ත්‍රීවරුන් 03 දෙනකුද ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 3144ක් ලබාගෙන මන්ත්‍රීවරුන් 02ක්ද එක්සත් ප්‍රගතිශීලී සන්ධානය 1,982ක් ලබාගෙන එක් මන්ත්‍රී ධුරයක්ද හිමිකරගෙන තිබේ.
ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හැර අන් පක්ෂ සමග සහයෝගයෙන් නගර සභාවේ බලය ලබාගැනීමට කටයුතු කරමින් සිටිති. ඒ ආකාරයටම එක්සත් ජාතික පක්ෂයද ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ හැර අනෙකුත් පක්ෂ සමග එක්ව මහනුවර මහ නගර සභාවේ බලය ලබාගැනීමට කටයුතු කරමින් සිටී.

කසුන් මාධව හේරත්