පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව විවිධ විශ්‍ලේෂණ පළ වී තිබේ. සමහරු එය මෙරට දේශපාලන ගමන් මගේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සේ දකිති. ජයග්‍රාහකයෝ යහපාලන ආණ්ඩුව මෙකී ජනවරමට හිස නවා ගෙදර යා යුතු යැයි කියති. තවත් අය මහ මැතිවරණයකට යා යුතු බව කියති. එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අගමැතිකම බාර දී රනිල් වික්‍රමසිංහ ගෙදර යා යුතු බවටද මතයක් පළව තිබේ. අපට පෙනෙන හැටියට පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේ මහින්ද රාජපක්ෂ නමැති සාධකය නිසාය. මහින්ද රාජපක්ෂ මහතා නම් දරන්නේ මෙකී මතවලට වඩා වෙනස් මතයකි. මේ ජනවරම තේරුම් ගෙන රටේ විසඳිය යුතු ප්‍රශ්න රැසක් තිබෙන බව ඔහුගේ මතයයි. සැබැවින්ම ඔහු තමන්ට ලැබුණු ජනවරම මැනවින් තේරුම් ගෙන තිබෙන බව එමගින් පෙනේ. තීරණාත්මක ජනවරමක් මහින්ද රාජපක්ෂ මහතා නොනිල වශයෙන් නියෝජනය කළ පක්ෂයට ලබාදුන්නේ කවර හේතු නිසාදැයි විමසිය යුතු කරුණකි. එය වඩාත් විමසිය යුත්තේ යහපාලන ආණ්ඩුව බලයට පත් වී එහි උණුසුමවත් යාමට පෙර එයට විරුද්ධව ප්‍රබල ජනමතයක් ප්‍රකාශයට පත්වීමය. සාමාන්‍යයෙන් ආණ්ඩුවකට එරෙහිව මෙවැනි ප්‍රබල ජන විරෝධයක් එල්ල වන්නේ ආණ්ඩුවේ දෙවැනි කාර්තුවේදී පමණය. එසේ වුවද වසර පහක් ගතවීමට පෙර යහපාලන ආණ්ඩුව ජන විරෝධයට ලක්ව තිබේ.

2015 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේද යම් ජන විරෝධයකට ඔහු ලක්වීම නිසාය. එසේ 2015 දී ඔහුට විරෝධය පළකළ ජනතාව යළිත් ඔහු ඉල්ලා තිබෙන්නේ කවර හේතුවක් නිසාද යන්න ගැඹුරු අවධානයට ලක් කළ යුතු කරුණකි. එය පරාජයට පත් වූ ආණ්ඩු පාර්ශ්වය සේම ජයග්‍රාහී මහින්ද පාර්ශ්වයද එසේත් නැත්නම් ඒකාබද්ධ විපක්ෂයද අවධානයට ලක් කළ යුතුය. ආණ්ඩුව නම් ප්‍රමාද වී හෝ ඒ ගැන අවධානය යොමු කරන බවට සැකයක් නැත. සමහර විට ජයග්‍රාහී පාර්ශ්වයේ අවධානයෙන් මෙකී කරුණ ගිලිහී යනු ඇත. ජනතාව මහින්ද රාජපක්ෂ මහතා හිමිකරගත් කණ්ඩායමට සුවිසල් ජනවරමක් ලබා දුන්නේ ගමත් නගරයත් එක සේ මුහුණ දෙන ප්‍රශ්නවලට සාධාරණ කාර්යක්ෂම පිළිතුරක් ලැබේවි යන විශ්වාසයෙනි.

ඉකුත් කාලයේ ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම නිසා පළාත් පාලන ආයතනවල පරිපාලනය එහෙම පිටින්ම අවුල් ජාලයක් වී තිබුණි. එය කෙතරම් අවුල් ජාලයක් වී තිබුණේද යත් ගම්වල සමහර මාතෘ සායනවල මාස දෙක තුනක් තිස්සේ විදුලිය විසන්ධි කර තිබුණි. මේවා විසඳීමට පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වූයේ නැත. ඒ ඒවා විසුරුවා හැර තිබුණු හෙයිනි. මුදල් ප්‍රතිපාදන වෙන්වීම පමා විය. මේ නිසා ගමේ සහ නගරයේ පරිපාලනය බිඳ වැටුණි. මැතිවරණය ප්‍රමාද කළ ආණ්ඩුව මෙය තේරුම් ගත්තේ නැත. ආණ්ඩුවේ ලොකු ලොක්කෝ උඩට වෙලා දේශපාලන සෙල්ලමේ යෙදුණෝය. එහෙත් ඡන්දය ප්‍රමාදවීම නිසා බැට කෑවේ ගමේ සහ නගරයේ වරිපනම් බදු ගෙවන මිනිසුන්ය. සැබැවින්ම මේ ඡන්දයෙන් පළ වූයේ එකී මිනිසුන්ගේ ප්‍රබල විරෝධයයි. එනිසා අප දකින පරිදි මහින්ද රාජපක්ෂ මහතා නොනිල වශයෙන් නියෝජනය කරන ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ තමන්ට ලැබුණු පළාත් පාලන ආයතන මගින් ගම්වැසියන්ට සහ නගර වැසියන්ට නිසි සේවයක් සැලසීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඒ සඳහා ජනතාවට අවංකව සේවය කිරීමට යොමුවන, හොරකමට, වංචාවට, ලැජ්ජාවක් බයක් තියෙන මහජන නියෝජිතයන්ට වගකීම් පැවරිය යුතුය. යහපත් කල්කිරියාවක් තිබෙන නියෝජිතයන්ට පළාත් පාලන ආයතනවල ඉහළ වගකීම් පැවරිය යුතුය. සමහර විට ජනතා අප්‍රසාදයට පත් වූ මහජන නියෝජිතයන්ද මෙවර පළාත් පාලන නියෝජිතයන් සේ පත්ව තිබිය හැකිය. ඔවුන් ගැන විශේෂ අවධානය යොමුකර ඔවුන් රැඳවිය යුතු තැන ගැන අවබෝධයක් තිබිය යුතුය.

අපේ පළාත් පාලන ආයතනවල තවම දැකිය හැක්කේ යල් පැන ගිය රටාවකි. බොහෝ නගර සභාවලට ජනතාව මතක් වන්නේ වරිපනම් බදු එකතු කරන විට පමණි. නගරවල කානු පද්ධති වල් වැදී ඇත. ඉකුත් කාලවල ඩෙංගු රෝගය වසංගතයක් සේ පැතිර ගියේ අවිධිමත් නගර පරිපාලනය නිසාය. නගර සභා නගරයට හෝ ප්‍රාදේශීය සභා ගමට කරන දෙයක් නැත. ඒ නිසා මේ පළාත් පාලන ආයතනවල ජනතා හිතවාදී කාර්යක්ෂම පරිපාලන රටාවක් ඇතිකිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එවැනි වැඩපිළිවෙළක් අනුව පළාත් පාලන ආයතන මෙහෙයවුවහොත් එය තමන්ට සුවිසල් ජන වරමක් ලබාදුන් ජනතාවට සාධාරණය ඉටුකිරීමක් වනු ඇත. ඒ නිසා ලැබුණු ජනවරම නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතලු කණ්ඩායම මග පෙන්විය යුතු බව පෙනේ.

SHARE

1 COMMENT

  1. කවුරු කවුරුත් මෙම ලැබුණු දිනුම වැරදියට සිතීමට යාම අනුවන ක්‍රියාවකි.අවංකව ගමට සේවය කලොත් ඔබලාට අනාගතයක් ඇත.ගමේ කොන්ත්‍රාත් වලින් හොරා කෑවොත්,කෙටියෙන් කියනවනම් මහජන මුදලින් තම බඩ වඩා ගත්තොත් “නුබලාටද” ජනතාව හොදින් සලකනු නියතය.තවද මෙය පාලන බලයේ සිටින දියවන්නඔයේ සිටින මහජන මුදලින් දවසේ අහාර වේල් තුනම ඉතාමත්ම සහන දායක මුදලකට( පෙරේතයන් ලෙස ගිලදමන) බුක්තිවිදින “හොර තක්කඩි අමබරුවන්ට” දීඇති අනතුරු ඇගවීමක් බව හොදින් මතක තියාගනිව්.රටට අවංක වෙයව් එසේ නොවුනොත් “තොපේ “ගමන කෙටිය. මෙය අද අප රටේ තිබෙනා රතු, කොළ ,නිල් සෑම පක්ෂයකම සිටින හොර තක්කඩි මුසල දේශපාලුවන්ට දීඇති කනේ පහරකි.තම මවුබිමට අවංක වෙයව් .

LEAVE A REPLY

Previous articleකන්ද උඩරට බල සටනක්
Next articleතිරස් කාටුන්