ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තුන්කොන් තරගාවලියක වැඩිම ආදායම ලබපු තරගාවලිය බවට එළැඹෙන නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලා‍පොරොත්තු වේ. ඒ අනුව මාර්තු 6 සිට 18 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී රුපියල් බිලියනයක (මිලියන 1000ක් හෙවත් කෝටි සියයක) ලාභයක් උපයා ගැනීම බලා‍පොරොත්තු වන බව ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල පවසයි. හීරෝ මෝටර් සමාගම නිදහස් කුසලානයේ ප්‍රධානම අනුග්‍රාහකයා බවට පත් වේ.

නිදහස් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් අත්වැල් බැඳ ගන්නා වාණිජ සහකරුවන් හඳුන්වා දෙමින් ක්‍රිකට් ආයතන ප්‍රධානී මේ බව ප්‍රකාශ කළේය.

මීට කලින් මෙතරම් ආදයමක් තුන්කොන් තරාගවලියකින් ශ්‍රී ලංකාවට ලැබි නැහැ. (සති තුනක් වැනි කාලයක් තුළ) මේ ආදායම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා ආයෝජනය කිරීමටයි බලා‍පොරොත්තුව යනුවෙන් ක්‍රිකට් ප්‍රධානී පවසයි.

නිදහස් කුසලානය වෙනුවෙන් පමණක් මෙතරම් විශාල ආදායමක් ඇස්තමේන්තු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සූදානම ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හෙවත් විස්සයි-20 තරගාවලිය ආරම්භ කිරීම සඳහා පදනම දැමීමටය. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් පිටත ක්‍රිකට් ක්‍රීඩාව අලෙවි කළ හැකි පෙදෙස් කරා අවතීර්ණ වෙමින් වැඩි ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

මෙම කටයුතු සඳහා ක්‍රීඩා අලෙවිකරණයේ ප්‍රකට සමාගමක් වන සිංගප්පූරුවේ ‘ලාගාඩියර්’ සමාගමේ විශේෂඥ සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබි ඇති අතර නිදහස් කුසලාන තරගාවලිය අලෙවි කිරීමේදී ඉන්දියාවේ රූපවාහිනී සමාගම් වන ඩී-ස්‍පෝට්ස් සමාගමත් බංග්ලාදේශයේ ‘චැනල් 9’ සමාගමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ එක්වී ඇත. මීට අමතරව ක්‍රීඩාංගණය තුළ දැන්වීම් අලෙවිය තවත් අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් අලෙවි සමාගමක් වන අයි.ටී.ඩබ්ලිව්. සමාගම වගකීම ගෙන ඇත.

මෙවර නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෝකයේ අතිවිශාල ප්‍රේක්ෂක පිරිසක් වෙත ගෙන යන බවත් මතෛක් එවැනි විශාල ප්‍රේක්ෂක පිරිසක් අපට සිටිය හැකි බවත් මෙය ලැබි ඇති විශාල අවස්ථාවක් බවත් ක්‍රිකට් ප්‍රධානී පවසයි. නිදහස් කුසලාන තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ ලෝකයේ රටවල් 150කට සජීවී ලෙසින් විකාශය කිරීමටද නියමිතය.

ධම්මික රත්නවීර