ශ්‍රී ලංකා ක්‍රිකට් පිල බංග්ලාදේශ සංචාරයට මේ වන විට තුන්කොන් තරගාවලියේ ශූරතාවත්, ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණයත් ලබා ඇත. මිර්පූර් තණතිල්‍ලේ දී තුන්කොන් තරගාවලිය පරාජය හා දෙවැනි ටෙස්ට් තරගයේ පරාජයෙන් ටෙස්ට් තරගාවලියේ පරාජය ලැබූ බංග්ලාද්ශ පිල දැක්වූ දියාරු පිතිහරඹයට චෝදනා කරන බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නස්මුල් හසන් ලැබූ පරාජයන්ට කිසිවිට තණතිල්ලට චෝදනා කළ නොහැකි බව අවධාරණය කරයි.
බංග්ලාදේශ ඩේලි ස්ටාර් පුවත්පතට අදහස් දැක්වූ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී බංග්ලාදේශ ක්‍රිකට් පි‍ලේ පසුබෑමට බංග්ලාදේශ පිතිකරුවන් සෘජුවම වගකීම ගත යුතු බවත් තණතිල්ලට දොස් පැවරීම හේතුවක් නොවන බවත් පෙන්වා දෙයි.

බංග්ලාදේශ ක්‍රිකට් තණතිලි භාර සැකසීමේ ප්‍රධානී ලෙස වසර 2011 සිටම කටයුතු කරනුයේ ශ්‍රී ලංකාවේ හිටපු විනිසුරුවරයකු ද වන ගාමිණී සිල්වාය. තණතිල්ල සැකසීම වෙනුවෙන් මොහුට දොස් පැවරීමට කොටසක් සූදානම් වුවද එය ප්‍රතික්ෂේප කරමින් පිතිකරුවන්ට මීට වඩා වගකීමෙන් කටයුතු කර යුතු වෙනවා යැයිද පවසන බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී පරාජයන් සහ තණතිල්ල අතර කිසිම සබඳතාවක් නැති බව අවධාරණය කළේය.
“මම හිතන්නේ පරාජයන්හිදී අනුන්ට දොස් පවරනවාට වඩා ක්‍රීඩකයන් වගකීම ගත යුතුයි. ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පයහළට බැස තියෙන්නේ. මීට පෙර මෙවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.”
තුන්කොන් තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 221ක හඹායෑමට නොහැකි වුණා. ඒත් විශ්වාස කරන්නත් අමාරුයි මෙම ඉලක්කය හඹායන්න බැහැයි කියා. මේ සඳහා යෑමේදී තමීම් ඉක්බාල්, ශබිර් රහමන් හරියට ලකුණු අතරට ආවේ නැහැ. මුෂ්ෆිකර් රීම් එක්වරක් ස්වීප් පහරකට යෑමේදී අපි ප්‍රේක්ෂකාගාරයේ සිට කෑ ගැහුවා. ඒත් ඔහු ඒ වරදම කරමින් දැවී ගියා. ප්‍රධානම පිතිකරුවන් ඉක්මිනින් දැවී ගියා. අනවශ්‍ය ලෙස දුවද්දී දැවීයාම් දෙකක් ද සිදුවුණා. මට හිතෙන්නේ පිතිකරුවන් තණතිල්ල ගැන අවබෝධයක් ගත යුතුයි. ඔවුන්ට බලා‍පොරොත්තු වන විදිහේ තණතිල්ලක් හැමවිටම ලැබෙන්නේ නැහැ. මේ නිසා පිතිකරුවන් ක්‍රීඩාවේ යෙදීමේදී වඩාත් සැලකිලිත් විය යුතුයි.” බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානි පවසයි.

මේ අතර ප්‍රථම ටෙසට් තරගය චිතගොන්හිදී ජය පරාජයෙන් තොරව අවසන් වූ විට තණතිල්ලට හොඳ පැවසූ බංග්ලාදේශ ක්‍රීඩකයන් දෙවැනි ටෙස්ට් තරග පරාජයෙන් පසුව මිර්පුර් තණතිල්ලට දොස් නැගූ බවද අනාවරණය විය.
මම හිතන්නේ පරාජයේදී තණතිල්ලට චෝදනා කර තණතිල්ල සකසන්නට චෝදනා කර වැඩක් නැහැ. ගාමිණී සිල්වා කියන්නේ වෘත්තිමය වශයෙන් වඩාත් දක්ෂ පුද්ගලයෙක්. ඔහු සැකසූ තණතිලි නිසා මීට පෙර තරගාවලි සාර්ථක වූ හැටි අමතක නොකළ යුතුයි. කොහොම වුණත් ක්‍රීඩකයන් තමන්ගේ වැරදි නිවැරදි කර ගැනීමට උත්සාහ ගැනීම ඉදිරියේදීවත් සිදුකර ගත යුතු බව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී පවසයි.

මේ අතර වත්මන් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ ද බංග්ලාදේශ පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය ගැන වඩාත් පුදුමයට පත් වන බව ටෙස්ට් තරගාවලිය අවසානයේදී ප්‍රකාශ කර ඇත.
“මම හිතන්නේ බංග්ලාදේශ පිතිකරුවන්ට මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්න හැකියාව තිබුණා. ඒ සඳහා හොඳ සූදානමක් තිබිය යුතුයි. කණ්ඩායමේ ශක්තිය මොකක්ද කියා අවබෝධ කොට ඒ සඳහා නියම සැලසුමක් තිබිය යුතුයි. මම හිතන්නේ හැමවිටම ජයග්‍රහණ ලබන්න බැහැ. ඒත් හොඳ තරගයක් දීමට හැකියාව තිබිය යුතුයි.” යනුවෙන් හතුරුසිංහ පවසයි.

කෙසේ වුවත් මිර්පූර් තණතිල්ල ගැන අදහස් දැක්වූ හතුරුසිංහ එම තණතිල්‍ලේ පසුගිය මාස හය තුළ ගොඩක් තරග පවත්වා ඇති බවත් වෙනස් තණතිලි මෙහි මේ අවස්ථාවේ සෑදීම අපහසු බවත් විශේෂයෙන් ටෙස්ට් තරගයකට තණතිල්ලක් සෑදීමට නම් අවම වශයෙන් මාස හයක්වත් අවශ්‍ය බවත් පවසයි.
කෙසේවුවත් පරාජයන්හිදී තණතිල්ලට චෝදනා කිරීම නිශ්ඵල වන්නේ සත්කාරක රටක් හැමවිටම වඩාත් තම කණ්ඩායමට සුදුසු පරිදි තණතිල්ල සකස් කිරීමට යුහුසුළු වන හෙයිනි. මෙය හරියට නටන්න බැරි මිනිහාට ‍පොළොව ඇදයි වගේ කතාවකි.

ධම්මික රත්නවීර