ඩයලොග් ලීග් රග්බි ශූරතාව මහනුවර රගබි ක්‍රීඩා සමාජ නායක ගයාන් වීරරත්න ඩයලෙග් ආසියාටා සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර වෙතින් ලබා ගනිමින්. ශ්‍රී ලංකා රග්බි ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත ඒකනායක, ඩයලොග් සාමාන්‍යාධිකාරි (ලාංඡන හා මාධ්‍ය) හර්ෂ සමරනායක ද මෙහි වේ.

ඩයලොග් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය නිමාවට පත් කරමින් ඉරිදා (11) මහනුවර නිත්තවෙල පැවැති තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජය අපරාජිත බවද රැක ගනිමින් ලකුණු 30-28ක් ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජය කොට ශූරතාව දිනා ගත්තේය.

තියුණු මුහුණුවරක් ඉසිලූ මේ තරගයේදී මහනුවර පිල ජේසන් දිසානායක, අනුරුද්ධ විල්වර හා බුවනක උඩම්ගමුව යන ප්‍රබල ක්‍රීඩකයන් විවේක ගන්වමින් තරගයට පිවිස තිබුණද එහි වාසිය ප්‍රතිවාදීන්ට අත්කර ගැනීමට ඉඩ ලබා නුදුන් ෆසිල් මරිජා උත්සාහක දිනුම් තුනක්ම වාර්තා කොට ඔහුගේ ලීග් රග්බි ක්‍රීඩාවෙන් සමුගැනීමේ තරගය අමරණීය සිහිවටනයක් බවට පත් කරනු ලැබිය.

තරගයේ පළමු භාගයේදී ලකුණු 22-00ක් ලෙස වාසි අත්කර ගන්නට මහනුවර පිල සමත්ව තිබුණද දෙවන භාගයේදී හැව්ලොක්ස් ක්‍රීඩකයින් ක්‍රියාත්මක වූ ආකාරය සත්කාරකයින්ට අභියෝග කිරීමක් බඳු විය.
එසේ වුවත් උත්සාහක දිනුම් 4ක් ප්‍රවර්තන 2ක් හා දඬුවම් පහර 2ක් උපකාර කර ගනිමින් රැස් කර ගන්නා ලද ලකුණු 30 ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් වී තිබුණි.
හැව්ලොක්ස් පිල ලකුණු රැස්කර ගෙන තිබුණේ ගෝල 4ක උපකාරයෙනි.

මේ අතර පසුගිය වසරතුනේදීම ලීග් රග්බි තරගාවලියේ අවසන් ස්ථානයේ උරුමක්කාරයා වෙමින් ගත කළ කරුමක්කාර අතීතය මකා දැමූ සී.එච්. පිල මෙවර තරගාවලියේදී සහභාගි වූ තරග 14න් 8ක් ජයගෙන තරග 5ක් පමණක් පරාජය වී සිව්වැනි ස්ථානය දක්වා උසස්වීමක් ලබා ගන්නට සමත් වීමද කැපී පෙනුණි.
එහිදී ඔවුන් සහභාගි වූ අවසන් තරගයේදී සී.ආර්. පිල ලකුණු 25-24ක් ලෙස පරාජය කර තිබිණි.
මීට අමතරව අවසන් සතියේ ‍පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ‍පොලිස් පිල ලකුණු 43-36ක් ලෙස පරාජය කරන්නට යුද හමුදාව සමත් වූ අතර තරගාවලින් අනුශූරතාව දිනාගත් නාවික හමුදාව රත්මලානේදී ලකුණු 50-28ක් ලෙස ගුවන් හමුදාව පරාජය කරනු ලැබිය.

ශූරතාව දිනූ මහනුවර ක්‍රීඩා සමාජය සහභාගි වූ තරග 14 තුළදී උත්සාහක දිනුම් 81, ප්‍රවර්තන 53ක් දඬුවම් පහර 8ක් ඔස්සේ ලකුණු 535ක් රැස් කර ගන්නට සමත්ව සිටියේය.
එහිදී මහනුවර පි‍ලේ අනුරුද්ධ විල්වර හා රිචඩ් ධර්මපාල සමග නාවික හමුදාව් තිළිණ වීරසිංහ උත්සාහක දිනුම් 10කට හිමිකම් කියමින් වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයන් බවට පත් වූහ.

සීවලී එදිරිවීර