රුසියාවේ මොස්කව් නුවර ෙදාමොදෙදෝවෝ ගුවන් තොටුපොළින් ගමන් අරඹා 71 දෙනකු මරුමුවට පත්කරමින් අනතුරට ලක්වූ සාරාටොව් එයාර්ලයින් එ්එන්-148 අන්තර් ප‍්‍රවාහන ගුවන්යානයේ කළු පෙට්ටිය ආර්ගුනොවෝ ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබේ. රුසියානු වාර්තා පැවසුවේ ගුවන්තොටුපොළින් ගමන් අරඹා කිලෝමීටර් 40ක් පමණ ගියපසු ගුවන්යානය අනතුරට ලක්වී ඇදවැටුණු ප‍්‍රදේශයෙන් මෙම කළු පෙට්ටිය සොයාගත් බවයි. එම ප‍්‍රදේශය ගොඩනැගිලි නොමැති ස්ථානයකදී යානය කඩාවැටී ඇත. යානයේ රාමු කොටස් සහ තවත් සුන්බුන් ගණනාවක් මෙම ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබේ. මගීන් 65 දෙනකු හා 7 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් මෙහි ගමන්ගෙන තිබූ අතර කිසිවකු දිවි ගලවා ගෙන නොමැති බව රුසියානු රජය පවසයි. අනතුරට පත් යානයේ විමර්ශන සඳහා 150 දෙනකුගෙන් යුත් හදිසි සේවා නිලධාරීන් පිරිසක්, උපකරණ 20ක් හා එම්අයිඑම්අයි-8 හෙලිකොප්ටර් යානයක් ද යොදවා තිබේ. අනතුර ඇසින් දුටුවන් ප‍්‍රකාශ කර ඇත්තේ යානය අහසේදීම පුපුරා ගොස් ඇදවැටී ඇති බවයි. රුසියානු විමර්ශන කමිටුව ද සනාථ කර ඇත්තේ ගුවන්යානය මධ්‍ය වායුගෝලය තුළදී පුපුරා යාම අනතුරට හේතුවී ඇති බවය. ඉතිහාසයේ වැඩිම හිමපතනයෙන් පීඩා විඳිමින් සිටින මොස්කව් නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.