තමා වටා එක්රැස්වන කේවට්ටයන්ගන් සහ කපවුන්ගෙන් බේරී නැග්ග ඉණිමග ආරක්ෂා කර ගෙන ජනතාවගේ ඕනෑ එපාකම් ඉටු කරමින් ජනතා මෙහෙවරට කැප වෙන්නැයි පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටිති.

මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ධනය කරලීමට පියවර ගන්නා ලෙස ඔබට මග පෙන්වන කපුවන් මෙන්ම කේවට්ටයන්ද සිටින බව පැහැදිලි වන්නේ යැයි ආනන්ද හිමියෝ සිය ලිපියේ සඳහන් කර ඇත්තේය.
එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත්තේය.

එස් ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කොට 56 මහා විප්ලවයක් ආරම්භ කළේය. ඒත් බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට උරුව වූ බව නොරහසකි. ඉන් අනතුරුව එහි නායකත්වය ඔබතුමාට ද උරුම වූ බව සමස්ථ රටවාසීන් ම දන්නා කරුණකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ සෑම අවස්ථාවකම මාදුළුවාවේ සොභිත නාහිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ලබුදුවේ සිරිධම්ම නාහිමි, අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක හාල්යා‍ලේ සුමන තිස්ස නාහිමි, විජය කුමාරතුංග මහතා ඇතුළු සියලු දෙනාම එක්ව අභයාරාමයේ දීර්ඝ සාකච්ඡාවන් පැවත් වූහ. ලබුදුවේ සිරිධම්ම හිමියන් එදා ප්‍රකාශ කරන ලද්දේ වෙන්වී කැඩී ගිය පක්ෂය එකතු කිරීමට කටයුතු නොකළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ යක්ෂණිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉතිහාසය ගත වන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත විනාශ කළ වර්තමාන ජනාධිපතිවරයා ට ද අපට කිව හැක්කේ එම වචනයය බව යැයි ඔහුට එදා පැහැදිලි කර දුන් බව ආනන්ද හිමියෝ සිය ලිපියේ වැඩි දුරටත් අවධාරණය කර සිටිති.

කෙසේ නමත් බණ්ඩාරනායක මහතා පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නැත. අද ඇත්තේ ඩාලි පාරේ තිබෙන බෝඩ් ලැල්ලක් පමණි. එම නිසා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ යනුවෙන් නව පක්ෂයක් ඔබ විසින් පිහිටුවනු ලැබිය.
‍පොහොට්ටුව තුළ මහජනයා තැබූ විශ්වාසය අද තහවුරු වී ඇත්තේය. මෙතරම් ජනතා ප්‍රසාදයක් ලබා ගෙන අසීමිත බලයක් ලබා ගැනීමට හැකි වූ එකම පක්ෂය ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ හෙයත් ‍පොහොට්ටුව යැයි ආනන්ද හිමියෝ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තාරකා ළිඳකුඹුර