පසුගියදා පැවැති පලාත්පාලන මැතිවරණයෙන් හොරණ ප‍්‍රාදේශීය සභාවේ සියලුම කොට්ඨාශ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජය ලබද්දී පසුගිය සභාවේ හිටපු විපක්ෂනායකතුමා ඇතුළු එජාප මන්ත‍්‍රීවරු 8 දෙනාම පරාජයටපත්ව තිබේ.

පැවති මැතිවරණ ක‍්‍රමය යටතේ එක්සත් ජනතා සංධානයට මන්ත‍්‍රීවරු 14 ක්ද එජාපයට 8 ක් ද ජවිපෙට 1 ක්ද වශයෙන් මන්ත‍්‍රීවරු 23 ක ගෙන් සමන්විතව තිබූ පසුගිය සභාවට මෙවර කොට්ඨාශ ක‍්‍රමය යටතේ මන්ත‍්‍රීවරු 51 ක් පත්ව තිබේ. කොට්ඨාශ 29 කින් යුක්ත සභාවේ එම කොට්ඨාශ 29 ම ජයගත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බහු ආසනයේ මන්ත‍්‍රීවරයාද සමග මන්ත‍්‍රීධූර 30 ක් හිමිව තිබේ සියලුම කොට්ඨාශ පරාජය වූ එජාපයට සමානුපාතික ගණනය යටතේ මන්ත‍්‍රීධූර 14 ක්ද එක්සත් ජනතා සංධානයට මන්ත‍්‍රීවරු 4 ක්ද ජවිපෙට මන්ත‍්‍රීධූර 3ක්ද හිමිව තිබේ.

කොට්ඨාශ 29 ම ජයගත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරු 14 දෙනාට අමතරව අලුත්ම මුහුණු 16 ක් එක්වි තිබේ.

හොරණ කනන්විල ප‍්‍රාදේශීය සභා ප‍්‍රධාන කාර්යාලයීය ශාලාවේ මෙතෙක් පැවති සභාව මන්ත‍්‍රීවරු සංඛ්‍යාව වැඩිවිම නිසා එහි රැස්වීමට නොහැකිවී ඇති අතර එය ඉංගිරිය ප‍්‍රදේශීය සභා පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී රැස්වෙනු ඇතැයි වාර්තාවේ.

යූ නන්දසේන – ඉංගිරිය