අනපේක්ෂිත ප්‍රබල බලවේගයක් විසින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු මධ්‍ය-වාම පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය වෙනතකට හරවා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

එසේම පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ලැබි ඇති ප්‍රතිඵලය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) අස්ථාවර භාවයක් නිර්මණය වී ඇතැයි ද ‘රොයිටර්ස්’ පවසයි. එම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ. “මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘මධ්‍ය-වාම’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය විසින් 2015 අගෝස්තු මාසයේ ආණ්ඩු බලය තහවුරු කිරීමෙන් අනතුරුව මුහුණ දුන් පළමු මැතිවරණය වන්නේ මෙයයි. යුරෝ-ආසියානු දේශපාලන අවදානම් පිළිබඳ උපදේශක කණ්ඩායමේ අධ්‍යක්ෂ ශයි‍ලේෂ් කුමාර් රොයිටර්ස් වෙත පවසා ඇත්තේ ‘රාජපක්ෂ විසින් පෙන්වූ මැතිවරණ හැකියාවන් ජනාධිපති සිරිසේනට ගැටලුකාරී වනු ඇත’ යනුවෙනි.ජයග්‍රාහී කණ්ඩායම විසින් මෙවර මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවන ලද්දේ ජීවන වියදම ඉහළ යෑම, දූෂණයට එරෙහිව පියවර ගැනීමට අසමත් වීම, රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කිරීම සහ දුගී හා විශ්‍රාමික සොල්දාදුවන්ගේ සුබසාධනය යන සටන් පාඨ පදනම් කරගනිමිනි.

නයන තරංග ගමගේ