රොෂේන් සිල්වාගේ සටන්කාමී පිතිහරඹයත් දඟ පන්දු යුගලය අකිල ධනංජය හා රංගන හේරත්ගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා පිල දෙවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 215ක ජක් ලබමින් ටෙස්ට් තරගාවලිය 1-0 ලෙස මිර්පූර් ක්‍රීඩාංගණයේදී වාර්තා කිරීමට සමත් විය.

ලකුණු 339ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ පිල ලකුණු 123කට සීමාවීමත් සමග ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකා පිල මතෛක් මෙම සංචාරයේ පැවැති තුන්කොන් තරගාවලි ජයක් සමග ටෙස්ට් තරගාවලි ජයක් ලබා ගනිමින් නව ගමනකට මුල පුරා ඇත.

මෙම තරගාවලියේ ලැබූ ජයත් සමග ශ්‍රී ලංකාවේ පරිණත පා දඟ පන්දු යවන්නා රංගන හේරත් ලෝක වාර්තාවකට හිමිකම් කීම විශේෂත්වයකි. ඒ අනුව ජගත් ක්‍රිකට් පිටියේ වමත් පන්දු යවන්නකු ලෙස වැඩිම ටෙස්ට් කඩුලුලාභියා ලෙස රංගන හේරත් වාර්තා ‍පොතට ඇතුළත් වූයේ දෙවැනි ඉනිමේ ලකුණු 49ට කඩුලු 4ක් ලබා කඩුලු 415 සීමාවට පැමිණෙමිනි. ඒ අනුව හිටපු පාකිස්තානු වමත් වේග පන්දු යවන්නා වසීම් අක්‍රම් තරග 104ක් තුළ ලබා තිබූ කඩුලු 414 අබිබවා රංගන හේරත් ලොව වැඩිම වමත් පන්දු ටෙස්ට් කඩුලුලාභියා බවට පත්විය.

ඒ අනුව වමත් පන්දු යවන්නන් අතර රංගන ඉදිරියට පැමිණියේ ඔහුගේ 89 වැනි ටෙස්ට් තරගයේදීය. රංගනට පිටුපසින් වසීම් අක්‍රම් ටෙස්ට් කඩුලු 414ක්ද නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි ටෙස්ට් කඩුලු 362ක්ද ශ්‍රී ලංකාවේ චමින්ද වාස් ටෙස්ට් කඩුලු 355ක්ද ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන් කඩුලු 313ක්ද ලබා සිටී.

මේ අතර මංගල ටෙස්ට් තරගයට මුහුණ දුන් පිට දඟ පන්දු යවන්නා අකිල ධනංජය දෙවැනි ටෙස්ට් තරගයේ කඩුලු අටක් ඉනිම දෙක තුළ ලකුණු 44ට ලබා ගනිමින් ශ්‍රී ලාංකික පන්දු යවන්නකු මංගල තරගයේදී ලැබූ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමටද සමත්වීම කැපී පෙනේ.

දෙවැනි ටෙස්ට් තරගයේ වීරයා සහ ටෙස්ට් තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම රොෂේන් සිල්වා හිමිකර ගැනීමත් විශේෂත්වයක් විය. ප්‍රථම ඉනිමේ ලකුණු 56ක්ද දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 70ක්ද ලැබූ රොසේන් ප්‍රථම ටෙස්ට් තරගයේදී තම මංගල ටෙස්ට් ශතකය ලැබිමටද සමත් විය.

ධම්මික රත්නවීර