මාස කිහිපයකට පෙර පිහිටුවා ගෙන මේ දක්වාම නිහඬ හා අක්‍රිය තත්ත්වයක පැවැති වර්තමාන ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය හාපුරා කියා අත ගැසූ වැඩසටහනද ක්‍රියාත්මක කරන්නට අ‍පොහොසත් වී පසුගිය සිකුරාදා (09) අතහැර දමන ලද බව රිවිරට වාර්තා වේ.

දැල්පන්දු විනිසුරුවන්, පුහුණුකරුවන් හා ක්‍රීඩිකාවන් වෙනුවෙන් දිස්ත්‍රික්ක මට්ටමින් සංවර්ධන වැඩමුළු ක්‍රියාත්මක කිරීම එම වැඩසටහනට අයත් වූ අතර සම්මේලනයේ සභාපතිනිය ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මූල්‍ය ප්‍රතිපාදන අපේක්ෂා කරන ලද බව පැවසේ.

කෙසේ වෙතත් මෙම වැඩසටහන සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිචාර ලැබෙන්නටත් පෙරම පළමු සංවර්ධන වැඩමුළුව පෙරබරවාරි 10 වැනිදා මොනරාගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කොට ඒ සඳහා දිස්ත්‍රික්කයේ පාසල් ක්‍රීඩිකාවන්, විනිසුරුවන් හා පුහුණුකරුවන් සහභාගි කරවීමට පියවර ගන්නා ලෙසට සම්මේලනයේ සභාපතිනිය විසින් දිස්ත්‍රික් දැල්පන්දු සංගමයේ ‍ලේකම් ඉන්දු ගුණවර්ධන මහත්මියගෙන් ඉල්ලීක් කළ බවත් එහෙත් එදින පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව ඇය විසින් සිහිපත් කිරීමෙන් අනතුරුව අදාළ වැඩසටහන 13 වැනිදා ඇරඹීමට යෝජනා කරන ලද බවත් දැන ගන්නට ඇත.

“අපේ පළාත බොහොම දුෂ්කර පළාතක්. මට මේ වැඩසටහනට දරුවන් එකතු කර ගන්න පුදුම වෙහෙසක් දරන්න සිදුවුණා. දුරකථන පහසුකම්, ගමනාගමන පහසුකම් නැති පාසල්වලට මම ඒ පාසල්වලට ගිහිල්ලයි දැනුම් දුන්නේ.

කොහොමහරි  මට පාසල් 40කින් විතර ළමයි එකතු කර ගන්න පුළුවන් වුණා. මම මොනරාගල රාජ්‍ය සේවා ක්‍රීඩාගංණයත් සූදානම් කර ගත්තා. ඒත් හිටිහැටියේ සභාපතිතුමිය මට දුරකථනයෙන් කතාකරලා ඒ වැඩසටහන කරන්න විදිහක් නැහැ කියලා අවලංගු කරන්න කිව්වා. ඒ ගොල්ලන්ට කොළඹ ඉඳලා වාහනයක නැගලා මොනරාගලට එනවා වගේ එහෙම නැත්නම් දුරකථනයෙන් දැනුම් දෙනවා වගේ වැඩසටහන අවලංගු කළ බව ළමයින්ට දැනුම් දෙන එක ලෙහෙසි වැඩක් නෙවි. මට තවත් සමහර ළමයින්ට දැනුම් දෙන්න බැරි වුණා. ඒ තියා කොහොමටත් මට 13 වැනිදා ග්‍රවුන්ඩ් එකේ ඉන්න වෙනවා. මේ වගේ සැලසුමක් නැති වැඩ නිසා සිද්ධ වෙන්නෙ ළමයින් අධෛර්යය වෙන එක විතරයි.

ලැබෙන ආරංචි අනුව දිස්ත්‍රික් මට්ටමින් මෙම වැඩසටහන දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සම්මේලනයේ අදහස වී තිබි ඇත.

එහෙත් සම්මේලනයක සභාපති තනතුරක් සඳහා ඉදිරිපත් වන විට සංවර්න කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් අපේක්ෂා කරනවා වෙනුවට අනුග්‍රාහකයින් සොයා ගැනීමේ හැකියාව තිබිය යුතු බව අමාත්‍යාංශයේ අදහසය.

සීවලී එදිරිවීර