පෙබරවාරි 04 දා මොකද වුණේ?
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිදහස් උත්සවය සමරන්න එරට සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කළා. අපි සිංහල, දෙමළ, මුස්ලිම් දෙසීය පනහක් පමණ එම උත්සවයට ගෙන්වූවා. උදේ ජාතික ගීය සිංහලෙන් දෙමළෙන් වාදනය කරලා සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාද අරගත්තා. ඉන්පසුව සියලු දෙනාටම කිරිබතින් සංග්‍රහ කරලා ඉවර වෙද්දී හතු පිපෙන්න වගේ විරෝධතාකරුවන් එන්න ගත්තා. ඒ වෙද්දී දවල් 11.15 ට විතර ඇති.

මේ ගැන කලින් දැනුවත් වූයේ නැද්ද?
මේ ගැන කලින්ම බුද්ධි තොරතුරු ලැබුණා. එංගලන්තය තුළ ඇති ලිහිල්බව නිසා මෙවර වැඩි පිරිසක් විරෝධතාවයේ යොදවන්න එල්ටීටීඊ හිතවාදීන් ක්‍රියාත්මක විය හැකි බව මම ඩිප්ලොමැටික් ‍පොලිසියට දැනුම් දුන්නා. “ටී.වයි.ඕ” හා ටී.සී.සී” යන එල්ටීටීඊය වෙනුවෙන් හඬනගන දෙමළ සංවිධාන තමයි මේක සංවිධානය කරලා තිබුණේ.

කොටි හිතවාදීන් මොකක්ද කරන්න හැදුවේ?
දෙසීයක විතර පිරිසක් ප්‍රභාකරන්ගේ රූප රාමු අරගෙන ඇවිත් විරෝධතාවයේ නිරත වුණා. මේ වෙද්දී උත්සවය ඉවර වෙලා ආරාධනාව මත ආපු අය යන්න හදද්දී උණුසුම් තත්ත්වයක් තිබුණේ. ඇතුළේ හිටපු ශ්‍රී ලාංකික දෙමළ අය මගෙන් ඉල්ලීමක් කළා එයාලට ආරක්ෂිතව යන්න දෙන්න කියලා. විරෝධතාව පැවැත් වුණු ඉදිරිපස දොරටුවෙන් යන්න හදලා දෙමළ අය බයවුණා. මේ විරෝධතාව කළේත් බ්‍රිතාන්‍යයේ ඉන්න ඊළාම් මතවාදී දෙමළ ජාතිකයන්. කොහොම වුණත් ඇතුළේ හිටපු අයගේ ආරක්ෂාව මගේ අතේ තිබුණේ.

ඉතින් ඔබ මොකද කළේ?
මම ඇතුළේ හිටපු අයව පසුපස දොරෙන් පිටත් කළා. නමුත් සිංහල අය අපි මොකටද මුන්ට බය වෙන්නේ කියලා ඉස්සරහ දොරෙන්ම ගියා. සමහරුන්ට වාහන ගන්න බැරුව චකිතයෙන් හිටියේ.

ඔබ විරෝධතාකරුවන් ඉදිරියට ගියාම මොකද වුණේ?
මම එතැනට ගිහිල්ලා මෙතැන ජාතිවාදයක් නැහැ. ශ්‍රී ලාංකිකයන් විදියට සියලු දෙනා නිදහස් උත්සවය සමරනවා කියලා පෙන්වා දුන්නා. ජනාධිපතිතුමාගේ නිදහස් පණිවුඩයේ දෙමළ පිටපත් අපි ඒ අයට ලබා දුන්නා. එතැන හිටපු උද්ඝෝෂකයන්ගේ නායකයෙක් ඒවා උදුරලා අරන් ගිනි තිබ්බා. එතැන කොමර්ෂල් ඒරියා එකක් නිසා ඩිප්ලෝමැටි ‍පොලිසිය ඉක්මනට ගින්න නිවලා ගිනි තියපු පුද්ගලයා අත්අඩංගුවට ගත්තා. ඒත් එක්කම විරෝධතාකරුවන් කලබල වුණා. ඒ අය හයි කොමිෂන් එකේ කොඩිය ළඟටම ආවා. ඩිප්ලොමැටි ‍පොලිසිය තව කණ්ඩායම් ආරක්ෂාවට කැඳෙව්වා. ‍පොලිස් හෙලිකොප්ටරයක් උඩට නග්ගලා උද්ඝෝෂකයන්ව වීඩියෝ කළා.

ඔබ ගැන කතාබහට ලකුවුණු හැසිරීම සිදු වුණේ කොහොමද?
උද්ඝෝෂකයන් ළඟටම ඇවිල්ලා කෑගහන්න වුණා. උත්සවයට ආපු අයගේ ආරක්ෂාව මට භාරවූයේ නිල ඇඳුමක් ඇඳගෙන මට බලන් ඉන්න බැහැ. ඒ එක්කම ඔවුන් “ප්‍රභාකරන් අවර් හීරෝ” කියලා විරෝධතාකරුවන් කෑ ගහද්දී මම ඇඟිල්ල බෙල්ලට තියලා පෙන්නුවේ සියල්ල අවසානයි කියලා. මැරෙන්න යන කොටින්ටත් යුද්ධයේ දී ජීවිතය දුන්න මට කාටවත් තර්ජනය කරන්න ඕන වුනේ නැහැ. ඒක ලංකාවේ වගේම ලන්ඩනයේ ඉන්න දෙමළ අය බොහෝ දෙනා දන්නවා. මම මගේ කෑම එක පවා ඒ අයට දුන්න කෙනෙක්.

“තමිල් ඊළාම් අවර් ලෑන්ඩ්” කියලා කොටි හිතවාදීන් කෑගසද්දී තමයි මම අතේ තිබුණු සිංහ කොඩිය එයාලට පෙන්නුවේ. මේක ඔයාලාගේ රටයි කියලා කියන එක තමයි මම පෙන්වා දුන්නේ.

මුලතිව්වලදී යුද අපරාධ කළා කියලා දැන් ඩයස්‍පෝරාව ඔබට චෝදනාව නගනවා නේද?
මම මුලතිව් අල්ලන සටනේ මුලතිව්වලට කිලෝ මීටර් පහක් තිබියදී බළ සේනාධිපතිවරයෙක් ලෙස උසස් වෙලා මුලංකාවිල් ගියා. එහේ දෙමළ ජනතාව දන්නවා අපි කරපු දේවල්. රජයේ හමුදා යුද අපරාධ කළේ නැහැ කියලත් එහේ ජනතාව දන්නවා. මේ උද්ඝෝෂකයෝ ලංකාවටවත් පය ගහපු නැති අය ඉන්නේ. මම එයාලට කිව්වා ඔබලා රටට ගිහිල්ලා ඇත්ත බලන්න කියලා.

බ්‍රිතාන්‍යයේ දෙමළ ජනතාව සමග ඔබේ සබඳතාවක් නැද්ද?
මම සේවයට ඇවිත් මාස නවයටම පුද්ගලික නිවාඩුවක්වත් ගත්තේ නැහැ. මම තමයි උදෙන්ම වැඩට ඇවිත් හයිකමිෂන් එකේ වැඩ පටන් ගත්තේ. මම එද්දීත් දොර ඉස්සරහ දෙමළ ජාතිකයන් සීත‍ලේ ‍පෝලිම් ගැහිලා ඉන්නවා. මම ඉක්මනට ඒ අයව ඇතුළට අරන් අපෙන් ඉටුවිය යුතු සේවය ලබා දීලා තියෙන නිසා හැමෝම මට කැමැතියි. අපි නිදහස් සමරුවට මුද්‍රණය කළ නිදහස් සැමරුම් ‍පොතට මුලතිව් පදිංචි දෙමළ තරුණයෙක් පවුම් 150 ක ඇඩ් එකක් දුන්නා. ඒ ඉංජිනේරුවගේ සහෝදරයෙක් වව්නියාවේදී තුවාල වෙලා තොරතුරක් නැතිව ඉද්දී මම ආමි කෑම්ප් එකේ සෙබළු යවලා එයාගේ සහෝදරයට කතා කරන්න ඉඩ හදලා දුන්න උදව්වට තමයි එයා උදව් කළේ. ලංකාවට ගංවතුර ආපු වෙලාවෙත් දකුණේ ජනතාවට යවන්න ඒ තරුණයා පවුම් පනහක් භාරදීලා ගියා.

එකපාරක් දෙමළ ජාතික හෙදියකගේ තාත්තා මෙහිදී නැතිවෙලා ලංකාවට යවන්න බැරිව ඉද්දී මම හයිකමිෂන් එකේ සහාය අරගෙන ඉක්මනින් මරණ පරීක්ෂණ තියලා රත්නපුරේට සිරුර ගෙනියන්න උදව් කළා. එයින් පස්සේ එංගලන්තයේ සිංහල සංවිධානයක් හමුදා පුස්තකාලයට ඉංග්‍රීසි ‍පොත් එකතු කරද්දී ඒ හෙදියගේ පවු‍ලේ අය ‍පොත් දාහක් ගෙනත් දීලා තිබුණා.

ඔබට පසුගිය රජය සමයේ අසාධාරණයක් වුණා කියලා සමාජ ජාලවල සඳහන් වුණා.
මුලංකාවිල් කෑම්ප් එකේ 2010දී පැවති උත්සවයක් අතරේ එහි ආපු නළු නිළියන්ට දේශපාලනය ගැන කතා කරන්න බැහැ කියලා මම එදා දැඩි ස්ථාවරයක හිටියා. රටේ ජනාධිපතිට, හමුදාපතිට පමණයි සෙබළුන් අමතන්න පුළුවන් කියලා දේශපාලනය ගැන කතා කරන්න කලාකරුවෝ උත්සාහ ගනිද්දී මම මයික් එක ගැලෙව්වා. ආමි එකට දේශපාලනය කරන්න බැහැ කියලා තමයි මම ඒක කළේ. ඊට පස්සේ මාව බල සේනාධිපති තනතුරෙන් ගැලෙව්වා.

ඊට පස්සේ මොකද වුණේ?
ඊට මාස එකහමාරකට පස්සේ මම හමුදාවට උචිත විදියට වැඩ කළා කියලා බුද්ධි අංශ අනාවරණය කළා. ඊට පස්සේ මට වඩා ‍‍‍ජ්‍යෙෂ්ඨ දාහත් දෙනකු සිටියදී මගේ රෙජිමේන්තුවේ සේනා විධායක තනතුරට පත් කළා. මට මගේ රෙජිමේන්තුවේ ලැබුණ ප්‍රධානම වගකීම එය වුණා.

යුද්ධයේ දී මියගිය කොටි පවුල්වල ළමයින්ට උගන්වන්න ඔබ ලන්ඩනයේ සිට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කියලා ආරංචියි?
ඔව්. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි තමයි මේ ව්‍යාපෘතියේ නිර්මාතෘ. යුද්ධ කා‍ලේ මැරුණ අයගේ ළමයකුට මාසයකට රුපියල් පන්දහස බැගින් ඉගෙන ගන්න ගිණුමකට බැර කරනවා. දැනට ළමයි පනස් දෙනකුට මුදල් යවන්න හොයලා දුන්නා. කැනඩාවේ දෙමළ අයෙකුත් මට කතා කරලා ළමයින්ට සල්ලි යැව්වා. ශ්‍රී ලාල් ඩයස් ඇතුළු බ්‍රිතාන්‍යයේ ජනහඬ පදනමිනුත් යාපනයට ගිහිල්ලා මේ ව්‍යාපෘතියට උදව් කරනවා. තවදුරටත් ඊළමක් සඳහා දරුවෝ යොමු කරන්න බැරි වටපිටාවක් හදන්න තමයි අපි ඒ දරුවන්ට උදව් කරන්නේ.

අද ඔබව මුළු රටම වගේම ජාත්‍යන්තරයේත් කතාබහට ලකු වුණා. ඇතැමුන් ඔබට ජාතිවාදී ‍ලේබලය අලවන්න හදනවා. ඔබට මොකද හිතෙන්නේ?
මම ශ්‍රී ලාංකිකයෙක් ලෙස කටයුතු කළා. තමාට පෙර රට කියන පාසලෙන් ලද ආදර්ශයේ පිහිටලා තමයි මම කටයුතු කරන්නේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

Untitled-4