දහ වැනිදායින් පසු සිදුවන ආණ්ඩු වෙනසක් ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා ‍පොළොන්නරුවේදී ඉඟියක් කළේය. පළාත් පාලන මැතිවරණ වේදිකාවේ සිදු කළ එම ප්‍රකාශය පිළිබදව සියලු දෙනා වඩා අවධානය යොමු කළ යුත්තේ අද පටන්ය. ඒ නිසා පළාත් පාලන මැතිවරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද යන්න ගැන ඒ ඒ පක්ෂවල ප්‍රධානින් කිහිප දෙනෙකුගෙන් විමසීමට රිවිර ඉරිදා සංග්‍රහය කටයුතු කළේය. අදින් පසු සිදුවන දේ ගැනත් ආණ්ඩු වෙනසක් සිදුවේද යන්න ගැනත් ඒ ඒ පක්ෂවල මැති ඇමැතිවරු මෙසේ අදහස් දැක්වූහ.  

ශ්‍රීලනිප මහ ‍ලේකම් දුමින්ද දිසානායක

මේ පිළිබඳව පළමුවෙන්ම ‘රිවිර’ ට අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ‍ලේකම් දුමින්ද දිසානායක මහතායි. ඔහු පවසන්නේ ඉදිරි කාලය සඳහා ආණ්ඩුවෙ වෙනසක අවශ්‍යතාවක් තමන් නොදකින බවයි. එසේම බලයට පත්වීමට පෙර ජනතාවට ලබාදුන් ‍පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට වගකීමක් පවතින බවය.

“මේ පළාත් පාලන මැතිවරණයත් එක්ක ආණ්ඩු වෙනසක් අවශ්‍යයි කියලා මම හිත්නනේ නැහැ. දුන්න ‍පොරොන්දු ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ අපට විශාල වගකීමක් තියෙනවා. ඒ ‍පොරොන්දු අපි ඉෂ්ට කළ යුතුයි. ආණ්ඩුවේ තනතුරුවල වෙනසක් ඕනෑම මොහොතක ඇතිවෙන්න පුළුවන්.”

යම් හෙයකින් ආණ්ඩුවේ ප්‍රධාන තනතුර වන අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් වන්නේ නම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර නිර්මාණය විය යුතු සාකච්ඡාවකින් අනතුරුව බව දුමින්ද දිසානායක මහතා පවසයි.

“අගමැති ධුරයේ සිද්ධ විය යුත්තේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අතර තියෙන අවබෝධය එක්කයි. නමුත් මේ ආණ්ඩුව 2020 වෙනකම් යා යුතුයි. මොකද රටේ ජනතාවට දුන්නු ‍පොරොන්දු ඉටු කළ යුතු නිසා. මැතිවරණයක් වෙලාවේ දේශපාලන වාසි ගැනීම ‍නෙවෙයි කළ යුත්තේ. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් සාකච්ඡා කිරීමෙන් ඕනෑම වෙනසක් කළ හැකියි.”

ආර්ථිකය මෙහෙයවීමේදී වත්මන් ආණ්ඩුවට යම් යම් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ බවත් ශ්‍රීලනිප මහ ‍ලේකම්වරයා පැවසීය.

“සැබෑවටම අපි අතර ප්‍රශ්න තියෙන කාරණා තියෙනවා. අපි පරණ පුරුදු විදිහටම ඉන්නවාද, වැරදි නිවැරදි කරනවාද කියලා තීරණය කරන්න ඕනෑ. ආර්ථික කළමනාකරණයේදී ප්‍රධාන පක්ෂ දෙක මීට වඩා මැදිහත්වෙලා තීන්දු ගත්ත නම් වටිනවා. මොකද ප්‍රධාන පක්ෂ දෙකට ආර්ථික ප්‍රතිපත්ති දෙකක් තියෙනවා. එක පක්ෂයක් දරන ප්‍රතිපත්තියම ‍නෙවෙයි අනෙක් පක්ෂය දරන්නෙ. මේ ප්‍රතිපත්ති දෙකම එකතු කරලා අඩුපාඩු අඩු කරලා වඩාත්ම හොඳ දේ ක්‍රියාත්මක කළා නම් මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා කියන එක හැමෝම විශ්වාස කරන කාරණයක්.”

“අපි ජාතික ආණ්ඩුවක් විදිහට බොහෝ ජයග්‍රහණ ජනතාවට ලබාදීලා තියෙනවා. නමුත් යම් යම් අඩුපාඩු තියෙනවා තමයි.”

සමාජය තුළ ආන්දෝලනයට තුඩුදී ඇති මහා පරිමාණ වංචා, දූෂණ සහ අල්ලස වහාම මැඬපැවැත්වීම සිදු නොකළහොත් රටේ ඉදිරි ගමනට එය බරපතළ බාධාවක් බව දුමින්ද දිසානායක මහතාගේ අදහසයි. ඔහු ඒ පිළිබඳව පවසන්නේ මෙවැන්නකි.

දූෂණ, වංචා පිළිබඳ වැඩි අවධානයක් ආසන්න අතීතයේදී යොමුවුණේ බැඳුම්කර සහ බරපතළ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් කැඳවීම හේතුවෙනි. සිදුවිය යුත්තේ මෙලෙස විවාද පැවැත්වීම නොව, වගකිවයුත්තන්ට දඬුවම් දීම බව දිසානායක මහතාගේ අදහසයි.

“ඔක්කොටම කලින් හොරකම නැති කළ යුතුයි. ඒක පරණ කට්ටියගෙ හොරකම් අල්ලන එක පමණක් විය යුතු නැහැ. ඉදිරියටත් මේ රටේ හොරකමට, වංචාවට තිත තැබිමයි විය යුත්තේ. ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ සහ නීති ඇතිකළ යුතුයි. මේ විවාදයේ නම් එතරම් සාර්ථකත්වයක් මම දකින්නේ නැහැ. පාර්ලිමේන්තුවේ විවාද කරලා එක එක අයට විවිධ අදහස් කියන්න පුළුවන්. නමුත් අපිට අවශ්‍ය මේ පරීක්ෂණ වාර්තාවට අනුව තියෙන නීතිය යටතේ ක්‍රියාත්මක වීමයි. මේ වංචා, දූෂණවලට දඬුවම් දෙන්න තිබෙන නීතිය මදි නම් ඒ නීතිය වෙනස් කළ යුතුයි. එහෙම නැතිව විවාදයකින් කරන්නේ කාට හරි මඩ ගහන්න හරි බේරීම සඳහා අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දීම නම් ඒකෙ තේරුමක් නැහැ. අපට අවශ්‍ය වරදක් කළා නම් දඬුවම් දීමයි. අලාභයක් වුණා නම් ඒක අයකර ගැනීමයි. ඒ සඳහා ප්‍රමාණවත් පරිදි නීතිරීති සම්පාදනය කිරීමයි පාර්ලිමේන්තුවෙන් සිදුවිය යුත්තේ. මාසයක් පාර්ලිමේන්තුවේ විවාද කළත් මේකෙ ප්‍රතිඵලයක් නැත්නම් වැඩක් නැහැ.”

අවසන් වශයෙන් රටේ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීලනිප මහ ‍ලේකම්වරයා සඳහන් කළේ වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා එජාපය සමග ශ්‍රීලනිපය පැමිණ ඇති ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙනයෑම පිළිබඳව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඉදිරියේදී රැස්වී සාකච්ඡා කරන බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ‍ලේකම් අකිල විරාජ් කාරියවසම්

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මේ පිළිබඳව ‘රිවිර’ ට අදහස් ප්‍රකාශ කළ එම පක්ෂයේ නියෝජ්‍ය මහ ‍ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාය. ඔහු පවසන ආකාරයට ආණ්ඩු වෙනසක් පිළිබඳව ජනාධිපතිවරයා කරන ප්‍රකාශවල වරදක් තමන් නොදකින බවයි. තම පක්ෂයද මේ මොහොතේ යම් වෙනසක් අපේක්ෂා කරන බවත් ඔහු පවසයි.

එක්සත් ජාතික පක්ෂය විදිහට අපිත් බලා‍පොරොත්තු වෙනවා යම් වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා.
කෙසේ වෙතත් පසුගිය වසර තුන ඇතුළත රටේ ආර්ථිකය කළමනාකරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයට එල්ල වන චෝදනාවන් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ ජනතාවට ලබාදීමට හැකිවූ සියලු සහනවලට එජාපය මැදිහත් වූ බවයි.

මෙහෙම හරි ගොඩදාගෙන තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික කළමනාකරණය නිසා තමයි. නැත්නම් තිබුණු තත්ත්වයත් එක්ක රට යන්න තිබුණේ ලොකු අගාධයකට. නමුත් අපි ඒ තත්ත්වය වෙනස් කළා. ‍පෝට් සිටි එක සින්නක්කර විකුණලා, හම්බන්තොට වරායට ණය වෙලා, ණය කඳු ගොඩගැහිලා, මත්තල ගුවන් තොටු‍පොළටත් ණය වෙලා බරපතළ අර්බුදයක් ඇතිවෙලයි තිබුණේ. මේ සියලුම තත්ත්වයන් වෙනස් කළේ එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික කළමනාකරණය නිසා. දැන් හම්බන්තොට ප්‍රදේශයේ කර්මාන්තපුරයක් බිහිවෙනවා. රැකියා බිහිවෙනවා. ආර්ථිකයට සල්ලි එනවා. ‍පෝට් සිටි එක අපි මූල්‍ය නගරයක් කළා. සින්නක්කර දීපු එක වෙනුවට අපි බදු ගිවිසුමකට ගියා.

අපේ ආර්ථික කළමනාකරණය යටතේ තමයි රාජ්‍ය සේවකයෝ ලක්ෂ දාහතරකට රුපියල් දහදාහක වැටුප් වැඩි කිරීමක් සිදු කළේ. පෙට්‍රල් රුපියල් තිස් දෙකකින් අඩු කළේ. බෙහෙත් වර්ග විශාල ගණනක මිල අඩු කළේ. ඒ වගේම අපි සමෘද්ධි දීමනාව සීයට දෙසීයකින් වැඩි කළා. විදුලි බිල සීයට විසිපහකින් අඩු කළා. ගැබිනි මව්වරුන්ට ‍පෝෂණ මල්ලක් ලබා දුන්නා. සියලුම පාසල් දරුවන්ට රක්ෂණයක් ලබා දුන්නා. ආර්ථික කළමනාකරණයේ සාර්ථක බව නිසා තමයි එහෙම කරන්න පුළුවන් වුණේ. දැන් අධිවේගී මාර්ග හැදෙනවා. කොළඹ ඉඳලා කුරුණෑගලට අධිවේගී මාර්ගය හදන්න පටන් අරන් ඉවරයි. දැන් ආයෝජන එනවා.

ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් මෙලෙස එජාපයට චෝදනා එල්ල වන්නේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දීම නිසා බවද නියෝජ්‍ය මහ ‍ලේකම්වරයා පවසයි.

අපි පක්ෂ දෙකක්නේ. ජනාධිපතිතුමා එක පක්ෂයක. අපි වෙන පක්ෂයක. ඒ නිසා ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමා අපේ බහුතර ඡන්දයෙන් පත් වුණාට දැන් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙනවනේ. එතුමා යන ගමනක් තියෙනවනේ.

අවසන් වශයෙන් එජාප නියෝජ්‍ය මහ ‍ලේකම්වරයා පැවසුවේ වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව එජාපය සුබවාදී බලා‍පොරොත්තුවකින් සිටින බවයි.

ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන යහපත් බලා‍පොරොත්තුවක් තියාගන්න අපි කැමැතියි. ඉදිරි සාකච්ඡාවලින් පස්සේ අපි ඒ ගැන බලමු.

මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් අපි ලබාගන්න ශක්තියත් එක්ක ශක්තිමත් ආණ්ඩුවක් කරා යන්න තමයි අපේ සූදානම. ඒ වගේම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අපි ඉක්මනින්ම ආරම්භ කරනවා. මොකද ඊළඟ මැතිවරණ සඳහා අපි වහාම සූදානම් විය යුතුයි.

ඒකාබද්ධ විපක්ෂය ඩලස් අලහප්පෙරුම

රටේ දේශපාලන වෙනසක් පිළිබඳව තම පාර්ශ්වය විසින් අනාවැකි පළ කරන ලද්දේ පළාත් පාලන මැතිවරණයට පෙර සිට බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ‘රිවිර’ ට අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. තමන් මේ බව මුලින් ප්‍රකාශ කරන විට ඇතැමුන් තමන්ට ‘පිස්සු’ යැයි පැවසූ බවත් ඒ මහතා සඳහන් කළේය.

“මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ දීම අපි කිව්වේ මේ ආණ්ඩුව වෙනස් වෙනවයි කියලා. එතකොට හුඟක් අය අපට හිනා වුණා. සමහර අපේම මිත්‍රයෝ කිව්වා, ඒකාබද්ධ විපක්ෂයෙ මිනිස්සුන්ට පිස්සු කියලා. ආණ්ඩු වෙනස් කරගන්න මේ මැතිවරණයෙන් පුළුවන්ද කියලා ඇහුවා. මේක ගමේ මන්ත්‍රීවරයා තෝරන ඡන්දය, ගම හදන ඡන්දය. ඒ නිසා මේකෙන් ආණ්ඩු වෙනස් වෙන්නේ නෑ කියලා කිව්වා. ඒ නාමයෝජනා බාරදුන්නු පළමු සති දෙකේ. හැබැයි දැන් අතිගරු ජනාධිපතිතුමාගේ ඉඳලා හැම දෙනාම ආණ්ඩු වෙනසක් ගැන කතා කරනවා. එදා ඒකාබද්ධ විපක්ෂය මැතිවරණය ආරම්භයේ දී ඉදිරිපත් කරපු මතය, අද ජාතික මතයක් බවට පත්වෙලයි තියෙන්නේ.”

ආණ්ඩු වෙනසක් පිළිබඳව ජනාධිපතිවරයා පවසන කරුණත් තම පාර්ශ්වයේ අදහසත් යන දෙකම පැහැදිලි එකම මාර්ගයක ගමන් කරන අදහස් දෙකක් බව අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.

“ජනාධිපතිතුමා අදහස් කරන්නෙත්, අපිට පේන්නෙත් එක දෙයයි. ආණ්ඩු වෙනස් කියන්නේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් වෙනස් කිරීමක් නමෛයිනේ. ඇමැති මණ්ඩලයේ වෙනස්වීමක් නමෛයිනෙ. එහෙම දේකට නම් කියන්නෙ ඇමැති මණ්ඩල සංශෝධනයක්. ආණ්ඩු වෙනසක් කියන්නේ අගමැතිවරයා ඉවත් කරලා වෙන ආණ්ඩුවක් හදන එකට.”

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික කළමනාකරණය අසාර්ථක බව ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමට මේ මොහොතේ සිදුව ඇත්තේ එජාප ප්‍රතිපත්තිය පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ප්‍රතිපත්තිය සමග ගැටෙන නිසා බවද ඒ මහතා පෙන්වා දෙයි.

“රාජ්‍ය නායකයා කියනවා නම් පසුගිය කා‍ලේ ආර්ථිකය කළමනාකරණය වෙලා නැහැ කියලා, ඒ කියන්නේ අපි පසුගිය අවුරුදු තුනේම කියපු දේ නිවැරදියි කියන එකනේ. මේක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ජාතික ආර්ථිකය විකුණන් කන ප්‍රතිපත්තිය. ජනතාවට බදුබර වැඩි කරන ප්‍රතිපත්තිය. ව්‍යාපාර ක්‍ෂේත්‍රය කඩාවැටෙන ප්‍රතිපත්තිය. දුප්පත් කමේ සීමාවෙන් යට ඉන්න මිනිස්සු විනාශ කරන ප්‍රතිපත්තිය. අද ඒක රටපුරාම පැතිරුණු ඔඩුදුවපු වණයක් බවට පත්වෙලයි තියෙන්නේ.”

එලෙස පැවසූ ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් ‘රිවිර’ ට පැවසුවේ යම් යම් අංශවල වෙනස්කම් සිදු කිරීමෙන් පමණක් වත්මන් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි අතර අගමැතිවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයේ වෙනසක් ඔස්සේ පමණක් රටේ දේශපාලන දිශානතිය වෙනස් කළ හැකි බවයි.

ජවිපෙ ප්‍රචාරක ‍ලේකම් විජිත හේරත්

ආණ්ඩු වෙනසක් යන්නෙන් ජනාධිපතිවරයා අදහස් කරන ලද්දේ කුමක්දැයි පැහැදිලිව ප්‍රකාශ නොවන බව ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රචාරක ‍ලේකම් විජිත හේරත් මහතා පවසයි. එම ප්‍රකාශය කිරීමේදී ජනාධිපතිවරයාගේ අදහස වූයේ කුමක්දැයි පැහැදිලි නැතැයි ඔහු සඳහන් කරයි.

ඔහු හිතේ මොනවා තියාගෙන කිව්වද කියලා අපි දන්නේ නැහැ. අපිට නම් මේ ඡන්දෙ ආණ්ඩු වෙනස් කරන ඡන්දයක් ‍නෙවෙයි. මේක ප්‍රාදේශීය සභාවට, නගර සභාවට අලුත් මන්ත්‍රීවරු පත්කරන ඡන්දයක් ගමේ පුංචි ආණ්ඩුව පත්කරන්න ඡන්දය. මේකෙන් අගමැතිවරයා වෙනස් වෙන්නෙත් නැහැ. ජනාධිපතිවරයා වෙනස් වෙන්නෙත් නැහැ. මේක මැතිවරණය කරලා ඡන්ද ගන්න බලාගෙන කරපු කතාවක්.

කෙසේ වෙතත් පැවති පළාත් පාලන මැතිවරණය හුදෙක් ‘ගමේ ඡන්දයක්’ පමණක් නොව, ජාතික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් බව ජනතා විමුක්ති පෙරමුණේ අදහසයි.

මේක ජාතික දේශපාලනය හැරවුම් ලක්ෂ්‍යයක්. ආණ්ඩු වෙනස්වීමක් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ. හැබැයි ජාතික දේශපාලනයේ දිශානතිය මේකෙන් තීරණය වෙනවා. මේ ඊනියා යහපාලන ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න විසඳුවද නැද්ද කියලා පණිවිඩයක් මේකෙන් ජනතාවට ලැබෙනවා. ඒවගේම ජනතාවගෙ ප්‍රතිචාරයත් මෙකෙන් ලැබෙනවා. ඒවගේම පරණ සහ අලුත් හොරු කණ්ඩායම්වලට ජනතාව දක්වන ප්‍රතිචාරයත් දැනගන්න පුළුවන්.

ආර්ථික කළමනාකරණය පිළිබඳව ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, ඊට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුවේ සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම බවත් විජිත හේරත් මහතා පවසයි.
ඔහු වටකරන් ඉන්නෙත් හොරු ටික. ප්‍රාදේශීය සභා මට්ටමින් ඉදිරිපත් කරලා තිබුණෙත් එහෙම අය. දැන් ආර්ථිකය කඩාවැටිලා ඉවරයි. පහුගිය අවුරුදු තුනේම එතුමා ඒකට පියවරක් ගත්තේ නැහැ. දැන් ඡන්ද කරලා තමයි ඔහු කලබලවෙලා ප්‍රකාශ කරන්නේ. මුදල් අමාත්‍යාංශයෙන්ම කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා. ගිය අවුරුද්දෙ ගෙවන්න තියෙන සල්ලිත් තියාගන්න බැහැ කියලා. දෙදහස් දහඅට අවුරුද්දේ සල්ලිවලින් තමයි දාහතේ බිල් ගෙවන්න වෙන්නේ.  පහුගිය ආණ්ඩු සේවක අර්ථසාධක අරමුද‍ලේ සල්ලි ටික පෞද්ගලික අංශයේ ආයෝජනය කරලා නැති කළා. මේ ආණ්ඩුව බැඳුම්කර කොල්ලය කරලා සල්ලි ටිකට විද්දා. එකෙන් බැංකු ‍පොලිය වැඩිවුණා.  බඩුමිල වැඩිවුණ. රුපියල බාල්දු වුණා. ආර්ථිකය වැටිලා තියෙන්නේ. දැන් ආර්ථික වර්ධන වේගයෙන් බැහැලයි තියෙන්නේ.

මේ වැටිච්ච ආර්ථිකය ගොඩනගන්න මේ  කාටවත් බැහැ. ඒ නිසා සක්කරයගෙ පුතා මෛත්‍රී කිව්වට මේක ගොඩගන්න බැහැ.  ඔහු මෙච්චරකල් ආණ්ඩුවේ කැබිනට් එකේ නායකයා වෙලා බැරිවුණා නම් ඔහු අතට ගත්ත කියලා මේක ගොඩගන්න බැහැ.

නයන තරංග ගමගේ