මෙරට භික්ෂූන් වහන්සේලා ජාතික විමුක්තිය සිය පෞද්ගලික විමුක්තිය තරමට ම උසස් කොට සැලකීම සම්ප‍්‍රදාය කොට ගත්හ. උන්වහන්සේලා පාලකයාට ද ජනතාවට ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අතර රට දැය යම් අභියෝගයකට මුහුණ පෑ කල්හි වහා පෙරමුණට වැඩම කොට එහි චිරස්ථිතිය ද සුරක්ෂිතභාවය ද පිණිස කටයුතු කළහ. අපේ සංස්කෘතිය තුළ භික්ෂූන් වහන්සේලා ජාතියේ මුර දේවතාවුන් යැයි මහත් ගෞරව සම්ප‍්‍රයුක්තව හඳුන්වන්නේ එහෙයිනි.

මෑත යුගයේ ද ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා යැයි අභිමානයෙන් හැඳින්විය හැකි භික්ෂූන් වහන්සේලා කිහිප නමක් පහළ වූහ. මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, පානදුරේ අරියධම්ම හිමි, ගංගොඩවිල සෝම හිමි, මාදුළුවාවේ සෝභිත හිමි ඒ අතරින් කිහිප නමකි. උන්වහන්සේලා කුඩාපොළ හිමි, වාරියපොළ සුමංගල හිමි වැඩි මග වඩිමින් රට දැය සමයෙහි යහපත පිණිස කටයුතු කළහ. මේ ආකාරයට රට දැය සමය සුරක්ෂිත කිරීමට කටයුතු කළ බොහෝ භික්ෂූන් වහන්සේලා නොසිතූ නොපැතූ අවස්ථාවල අපට අහිමි වීම ද එක්තරා ඛේදජනක අත්දැකීමකි.

මෑත ඉතිහාසයේ මෙරට බෞද්ධ ශාසනය ද ශාස්ත‍්‍රීය ලෝකය ද මිණි පහනක් සේ බැබළ වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ කෙනකු වන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ද ඒ අයුරින්ම හදිසියේ වියෝ වීම රටට දැයට මෙන් ම සම්බුද්ධ ශාසනයට ද පිරිමැසිය නොහැකි පාඩුවකි.

දෙවන ලෝක යුද සමයේ බි‍්‍රතාන්‍ය කොලනියක් වූ අපේ රටට ජපනුන් බෝම්බ හෙළන්නේ 1942 වසරේ අපේ‍්‍රල් 14 වෙනි දින එනම් සිංහල අලූත් අවුරුදු දිනය. සෑම කළු වලාවක ම රිදී රේඛාවක් ඇතැයි සනාථ කරමින්  ඕමත්තගේ ගිල්මට් පෙරේරා නම් පින්වත් කුමරු උපත ලබන්නේ ද එදිනමය. 1956 පෙබරවාරි 28 වැනි දින බෙල්ලන්විල රජ මහා විහාරයේ දී විමලරතන නමින් පැවිදි භාවය ලැබුවේ ඒ කුමරුය.

මූලික පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට පිවිසෙන බෙල්ලන්විල හිමි මූලික උපාධිය සපුරා 1980 බි‍්‍රතාන්‍ය ලැන්කැෂ්ටර් විශ්වවිද්‍යාලයට පිවිස සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. එම වසරේ ම ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය තනතුරකට උන්වහන්සේ පත් කෙරිණි. මෙසේ බොහෝ අධ්‍යාපන ආයතනවල සහ  සංවිධානවල විවිධ තනතුරු දරමින් බෙල්ලන්විල හිමියෝ සුවිසල් ධර්ම ශාස්ත‍්‍රීය මෙහෙවරක නිරත වූහ. කෝට්ටේ නාග විහාරාධිපති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමි උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය ලබන සමයේ සිට ම සමීප සගයෙක් විය.

බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිපති ධුරය දරමින් ”බෙල්ලන්විල නායක හාමුදුරුවෝ” නමින් දෙස් විදෙස් බෞද්ධ ජනතාව අතර ප‍්‍රසිද්ධ වූ උන්වහන්සේ බෞද්ධ භික්ෂුවක ලෙස මෙන් ම විද්වතකු හා උගතකු ලෙස ද ඉමහත් කීර්තියක් දැරූහ. බෙල්ලන්විල හාමුදුරුවෝ බොහෝ සමාජ දේශපාලන සංස්කෘතික කටයුතුවල නිරත වූව ද කිසිදු දේශපාලන කණ්ඩායමකට පක්ෂයකට සම්බන්ධ නොවූහ. එහෙත් රටට බලපාන තීරණාත්මක අවස්ථාවල සෙසු භික්ෂූන් වහන්සේලාට ද නායකත්වය දෙමින් පෙරමුණ ගත්හ.

රට දැය සමයෙහි පැවැත්ම කෙරෙහි බලපාන කරුණු කාරණා පිළිබඳ හැම විට ම සාවධාන වූ උන්වහන්සේ කිසිදු පක්ෂ පාට භේදයක් නොසලකා රටට හිතකර තීන්දුව වෙනුවෙන් පෙනී සිටියහ. වරදට එරෙහි වූහ. කෝට්ටේ කල්‍යාණි සාමාග‍්‍රී ධර්ම සභාවේ අනුනායක ධුරයෙන් ඉල්ලා අස් වී රටට නව ආදර්ශයක් ලබා දුන්හ. ඇතැම් දේශපාලන බලවේග ඒකීය ලේබලයට මුවා වී රටට අහිතකර බෙදුම්වාදී යෝජනා කරළියට ගෙන ආ විට උන් වහන්සේ ඊට එරෙහි වූහ. එහි අනාගත අවදානම පිළිබඳ රට දැනුම්වත් කළහ. මේ අකාරයට වසර දහස් ගණනාවක් අපේ රට සුරක්ෂිත කළ සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේගේ භූමිකාවට වර්තමානයේ පණ පෙවූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි නික්ම ගොසිනි.

කිසිදු දේශපාලන වරදානයකට නොනැමි බලයේ සිටින  ඕනෑම පාලකයින් ඉදිරියෙහි පවා සිය අදහස අභීත ලෙස ප‍්‍රකාශ කළහ. අදට වඩා හෙට උන් වහන්සේගේ අඩුව රටට දැඩි සේ දැනෙනු ඇත. ඒ අඩුව මෑත ඉතිහාසයේ කිසිවකුට පිරවිය හැකි යැයි සිතීමට පවා උගහටය. කෙසේ වුව ද සිය මිල කළ නොහැකි යුග මෙහෙවර නිම කර දැයෙන් සමුගත් බෙල්ලන්විල නායක සමිඳුට අපි නිවන් සුව පතමු!