මේ රටේ වැඩ කෙසේ වෙතත් වර්ජන ගර්ජනවලින් නම් අඩුවක් නැත. විවිධ ක්‍ෂේත්‍රවල අය නොයෙක් හේතු පදනම් කරගෙන වරින් වර වැඩවරති. මෙකී වැඩවැරිල්ලට නම්දරා තිබෙන කණ්ඩායමක් ඇත්නම් ඒ මෙරට වෛද්‍යවරුන්ය.

එක්තරා ආකාරයකට මෙරට වෛද්‍යවරුන් යැයි එකවිට කීම යම් අසාධාරණයක් විය හැකිය. එයට හේතුව මෙහි වෛද්‍යවරුන් නොයෙක් වෘත්තීය සමිති යටතේ එක්රොක් වී සිටීමය. ඒ අතරින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බෙහෙවින් කතාබහට ලක් වෙයි. එහි සාමජිකත්වය දරන වෛද්‍යවරු ඉල්ලීම් දහයක් මුල් කරගෙන ඊයේ (30) පෙරවරු 8.00 සිට වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කළහ. මේ වර්ජනය අතරමග දී බලධාරීන් සාකච්ඡාවකට  එකඟවීම නිසා තාවකාලිකව අත්හිටුවූ බව ද වාර්තා විය. මෙය ද අපගේ අවධානයට ලක්විය යුතු කරුණකි. අපට පෙනෙන හැටියට වර්ජනය නිසා මැතිවරණයක් එළැඹීමට තිබෙන මොහොතක අවාසියක් ඇතිවේ යැයි බියෙන් ආණ්ඩුව වහා සාකච්ඡාවට ගොස් තිබෙන සැටියකි.  මෙයට පෙර රෝගීන් කෙතරම් මියගියත් ඔවුන් පීඩාවට පත් වුවත් ආණ්ඩුව ඊට මැදිහත් වූයේ කල්යල් බලාය. රෝගීන්ට මොන හෙණයක් ගැහුවත් වෛද්‍යවරුන්ට ඕනෑ කුදයක් ගහගන්න යැයි ආණ්ඩුව සිතූ බව පෙනේ.

එය කෙසේ වුව ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ආණ්ඩුව අතර තිබෙන කඹ ඇදිල්ලෙන් පීඩාවට පත්වන්නේ නිදහස් සෞඛ්‍යයේ පිහිට පතන මහජනතාවය. ඇති හැකි අයට නම් බේත්හේත් කිරීමට ඕනෑතරම් රෝහල් ද වෛද්‍යවරු ද සිටිති. එවැනි රෝහලකින් ප්‍රතිකාර ගැනීමට දුප්පත් මනුෂ්‍යයාට ජීවිතයවත් උගස් තියා මුදලක් සොයාගත නොහැකිය. ඒ තරමට එවැනි තැන්වල බෙහෙත් පෙත්තේ සිට හැම දෙයක්ම මිල අධිකය. මෙසේ පීඩාවට පත්වන මහජනතාව ගැන ආණ්ඩුවට සේම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ද කිසිදු වගක් නොමැත. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැම විටම වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර ඉන් අපහසුතාවට පත්වන මහජනතාව ගැනත් කනගාටුව පළ කරයි. එය හුදෙක් කිඹුල් කඳුළු හෙළිල්ලක් පමණි. අප දකින පරිදි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැම විටම රෝගීන් නමැති හිඟන්නාගේ තුවාලයෙන් පල ප්‍රයෝජන ලබයි. ඉකුත් කාලයේ අප නිරීක්ෂණය කළ කරුණක් නම් වර්තමාන ආණ්ඩුව සහ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම ගැටලු දේශපාලනමය ගැටලු දක්වා  වෙනස් කර ගැනීමය.

එනම් ආණ්ඩුවට සහ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වෘත්තීය ගැටලුවලට අමතරව ඒවා ඉක්මවා ගිය දේශපාලන
ගැටලු ද තිබේ. ඉකුත් දිනවල පැවැති වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය කෙළවර වූයේ දොස්තරලාගේ ඔළු පලා ගැනීමෙනි. එයට හේතු වූයේ නිලවරණයේ දී තමන්ට හිතවත් අය පත්කිරීමට ආණ්ඩුවේ සමහර බලධාරීන් ප්‍රයත්න දැරීමය. එකී මාරාන්තික නිලවරණයෙන් පසු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු දහයක් මුල් කරගෙන පෙර කී වර්ජනය ප්‍රකාශයට පත් කළේය. වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් අතර මුලට එන්නේ සයිටම් අහෝසි කර ජනතාවාදී විසඳුමක් ආණ්ඩුව ලබාදිය යුතු බවය. එයට අමතරව මෙයට පෙර ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මතු කළ තීරුබදු රහිත වාහන බලපත්‍රය තමන්ට අහෝසි කිරීම ගැන මෙවර ද කතා කරයි. අලුත් නිලධාරීන් පත් කිරීමෙන් පසු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හාපුරා කියා වැඩ පටන්ගත් ආකාරයක් ඉන් පෙනේ.

වෘත්තීය අයිතිවාසිකම් අයිතිවාසිකම් දිනාගත යුතු බවට විවාදයක් නැත. එහෙත් ආණ්ඩුව සයිටම් ප්‍රශ්නයට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපේක්ෂා කරන විසඳුම ලබා දෙන තෙක් මේ රටේ රෝගීන් මියයා යුතු ද? එසේම ඔවුන් බේත්හේත් නොමැතිව මරණය කරා ළංවිය යුතුද? යන ගැටලුව අපට ඇති වේ. කුමන වෘත්තීය අයිතිවාසිකමට වඩා මහජනතාවගේ ජීවිත වටී. වෛද්‍යවරුන්ට ඒ ගැන අමුතුවෙන් ප්‍රකාශ මතක් කර දිය යුතු නැත. අප දන්නා වෛද්‍ය ආචාර ධර්ම අනුව නම් වෛද්‍යවරයකුගේ පරම යුතුකම රෝගියකුගේ ජීවිතය ආරක්ෂා කිරීමයි. එයට වඩා එය ඉක්මවා ගිය යුතුකමක් වෛද්‍යවරයකුට තිබිය නොහැකිය. එනයින් බලන කල කෙතරම් කනගාටුව ප්‍රකාශ කළත් මෙරට වෛද්‍යවරුන් වර්ජන මගින් රෝගීන්ගේ ජීවිත තුට්ටුවකට හෝ නොතකන බව පෙනේ. අනෙක් අතට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ද වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවයේ ඇත්තන්ගේ ප්‍රශ්න නොපමාව විසඳීමට යොමුවිය යුතුය.

වසරේ බෙහෙවින් වෛද්‍ය වර්ජන ආදිය වාර්තා වේ නම් එයින් පෙනෙන්නේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රශ්න විසඳා ගැනීමේ යාන්ත්‍රණක් නොමැති බවය. එහෙයින් බලධාරීන් සහ වෛද්‍යවරුන් දෙගොල්ලන්ට චෝදනා නොකර ජනතාවගේ පැත්තේ සිට කල්පනා කර කටයුතු කළ යුතුය. එසේම දේශපාලන ගැටලු සහ සෞඛ්‍ය ගැටලු එකිනෙක පටලවා නොගෙන කටයුතු කිරීම දෙපාර්ශ්වයේම වගකීමකි. මේ වර්ජනයේ නිරත හැම වෛද්‍යවරයාම  තමන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. ඒ වර්ජනය කරන ආකාරයට රෝගීන් වෙනුවෙන් තමන්ගේ යුතුකම මැනවින් ඉටු කරන්නේ ද යන ගැටුලවයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි වර්ජනවල නිරත වනවාට අමතරව ජනතාව සූරාකන සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අනෙක් ප්‍රශ්න ගැන ද අවධානය යොමු කළ යුතුය. එසේම වෛද්‍යවරුන් වැනි ජනතාවගේ ජීවිතය හා බැඳුණු වෘත්තිකයන් පිරිසකට වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වර්ජනය වැනි ක්‍රියාමාර්ග කෙතරම් යෝග්‍ය ද යන්න යළි සලකා බැලිය යුතුය.