අවු. 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නව වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා පි‍ලේ හසිත බෝයගොඩ කෙන්යා පිලට එරෙහිව ලකුණු 191ක් ඊයේ (23) නවසීලන්තයේදී රැස් කිරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා පිල මෙම තරගයේදී ලකුණු 311ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගන්නා ලදී. කෙසේ වුවත් බෝයගොඩ මීට පෙර ඇෆ්ගනිස්ථාන හා පාකිස්තාන තරග දෙකට එරෙහිව ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කිරීමට අවකාශ නොලැබිම කැපී පෙනේ.

ශ්‍රී ලංකා පිල ශූරතා වටයෙන් මේ වනවිටත් ඉවතට විසිවී ඇතත් 9 වැනි ස්ථානය සඳහා තරග වැදුණු මෙම තරගයේදී ප්‍රථමයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 4ට ලකුණු 419ක් ලබා ඕවරයකට 8.38ක සාමාන්‍යයක් ලැබිම කැපී පෙනුණි.

මහනුවර ත්‍රිත්ව විදුහල් නායක හා ආරම්භක පිතිකරු හසිත බෝයගොඩ පන්දු 152ක් තුළ 4 පහර 28ක් සහ හයේ පහර 2ක් ලැබූ ලකුණු 191 මෙවර තරගාවලියේ වැඩිම පෞද්ගලික ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වන අතර මීට පෙර මෙම තරගාවලියෙහිම මූලික වටයේ පැවති තරගයකදී දින හයකට පෙර කෙන්යාවට එරෙහිවම නවසීලන්තයේ ජේකබ් බූලා ලකුණු 180ක් වැඩිම ලකුණු ලෙස ලබා තිබුණි. මීට පෙර යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ලෙස භානුක රාජපක්ෂ 2009 ලෝක කුසලානයේදී වැඩිම ලකුණු 154ක් ලබා තිබුණි. ඊයේ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හසිතගේ ඉනිමට අමතරව නිශාන් මධුශංඛ ලකුණු 60ක් පන්දු 58න් 4 පහර 7ක් සමග ලැබිමත්, නායක කමිඳු මෙන්ඩිස් වේගවත් ලකුණු 53ක් නොදැවී පන්දු 21ත් 4 පහර 3ක් හා 6 පහර 4ක් සමග ලැබිමත් කැපී පෙනුණි.
කෙසේ වුවත් ප්‍රතිවාදී කෙන්යානු පිල ඕවර 35.5ක් තුළ ලකුණු 108කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ අතර මෙම තරගාවලියට ප්‍රථම වරට ක්‍රීඩා කිරීමට කැඳවූ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහ‍ලේ හරීන් බුද්ධිල තම ඕවර 10 තුළ නිලකුණු ඕවරයක් සමග ලකුණු 27කට කඩුලු 4ක් ලැබිම විශේෂත්වයක් විය.

නිපුන් මාලිංග ලකුණු 14ට කඩුලු 2ක් ලැබිය. බෝයගොඩ තරගයේ වීරයා සම්මානයද ලැබිය. ශ්‍රී ලංකාව ලකුණු 311ක ජයක් ලැබිම ලෝක කුසලාන තරගාවලියේ මීට පෙර ඔස්ට්‍රේලියාව මෙම තරගාවලියේදීම පැපුවා නිව්ගිනියාව පරාජය කරනු ලැබූ ලකුණු 311 සමාන කිරීමය.

මේ අතර ශූරතා කුසලාන වටයේදී අර්ධ අවසන් පූර්ව තරගයකදී ඔස්ට්‍රේලියානු පිල එංගලන්තයට එරෙහිව ලකුණු 31ක ජයක් වාර්තා කරනු ලැබිය. ඔස්ට්‍රේලියානු පිල ඕවර 33.3ට ලකුණු 127ක් ලැබූ අතර එංගලන්ත පිල ඕවර 23.4ක් තුළ ලකුණු 96ට සීමාවීම කැපී පෙනුණි. යොවුන් ලෝක කුසලාන තරගාවලියේ මතෛක් හොඳම පන්දු යැවීම ලෙස ඔස්ට්‍රේලියානු පි‍ලේ පාදඟ පන්දු යවන්නා ලොයිඩ් ‍පෝප් ලකුණු 35ට කඩුලු 8ක් ලබා නව වාර්තාවක් තැබිම කැපී පෙනුණි. ඔහු ඕවර 9.4ක් තුළ නිලකුණු ඕවර 2ක් සමග ලකුණු 35ට කඩුලු 8ක් ලැබිය. මීට පෙර ඔස්ට්‍රේලියානු පි‍ලේම ජේසන් රැල්ස්ටන් ලකුණු 15ට කඩුලු 7ක් පැපුවා නිව්ගිනියාවට එරෙහිව මෙම තරගාවලියේ ලබා තිබුණි.

ශ්‍රී ලංකා පිල කෙන්යාව පරාජය කිරීමත් සමග පළඟ ශූරතාවයේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ අතර 25දා සිම්බාබ්වේ පිල සමග තරග කිරීමට නියමිතය.

ධම්මික රත්නවීර