බංග්ලාදේශ ක්‍රිකට් පිල තුන් ඉරියව් දක්ෂතා අතර මෙම තුන්කොන් තරගාවලියේ ඉදිරියෙන්ම සිටිමින් දෙවන වරටද ඊයේ (23) මිර්පූර් තණතිල්‍ලේදී සිම්බාබ්වේ පිල ලකුණු 91 පරාජය කිරීම නිසා පහසුවෙන්ම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ තරග තුනෙහිම බෝනස් ලකුණද ලබාගැනීමෙනි. සිම්බාබ්වේ පිල බංග්ලාදේශ පිල ලකුණු 216කට සීමා කරද බංග්ලාදේශ පි‍ලේ දඟ පන්දු යුගලය සකිබ්හල් හසන් සහ සන්සුමුල් ඉස්ලාම්ගේ ක්‍රියාත්මක වීම නිසා සිම්බාබ්වේ පිල දැඩි පීඩනයකට ලක් වෙමින් ලකුණු 125 ඕවර 36.3කදී සීමා විය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ඉදිරි බංග්ලාදේශ සමග තරගයේ තීරණය කෙසේද යන්න සිම්බාබ්වේ පිලට බලා සිටීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පිල පරාජයට පත් වුවද අවසන් තරගය සඳහා ලකුණු ලැබිමේ වේගය සැලකිල්ලට ගනු ලබන හෙයිනි. කෙසේ වුවත් ශ්‍රී ලංකා පිල බංග්ලාදේශය පරාජය කළ හොත් සිම්බාබ්වේ පි‍ලේ අවසන් තරග බලා‍පොරොත්තු සුන් වෙයි.

බංග්ලාදේශ ක්‍රිකට් පිල කාසියේ වාසිය ලබා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න ද සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කඩුලු 9ට ලකුණු 216කට සීමා වීම කැපී පෙනේ. ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් පන්දු 105න් ලකුණු 76ක් ද අංක තුන පිතිකරු පන්දු 80න් ලකුණු 51ක් ද ලබා දෙවැනි කඩුල්ලට ලකුණු 106ක අනගි සබඳතාවක් ගොඩනැගුව ද සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ ඉඩ නොදීම තුළ යම් අභියෝගයක් මෙම තරගයේ බංග්ලාදේශ පිලට ලැබුණි. තමීම් මෙම තරගාවලියේ පිට පිට ලැබූ දෙවන අර්ධ ශතකය සමග බංග්ලාදේශය වෙනුවෙන් එක්දින ලකුණු 6000 සීමාවට ලඟා වූ ප්‍රථම ක්‍රීඩකයා වීමද විශේෂත්වයකි.

ලකුණු 196ක් කඩුලු 9ට ලබා තිබුණු බංග්ලාදේශ පි‍ලේ අවසන් කඩුල්ලට මුස්ටෆිසුර් රහමන් ලකුණු 18ක් ද රුබෙල් හුසේන් ලකුණු 8ක් ද ලැබිම නිසා ලකුණු 200 සීමාව ඉක්මවීමට හැකි විය.

පන්දු යැවීමේ දී ග්‍රැහැම් ක්‍රීමර් ලකුණු 32ට කඩුල 4ක් ලැබූ අතර වේගපන්දු යැවූ කයිල් ජාවිස් ලකුණු 42ට කඩුලු 3ක් ලැබිය.

ශ්‍රී ලංකාව සමග දෙවැනි වරටත් බංග්ලාදේශය හෙට (25) තරගවැදීමට නියමිතය.