ඩයලොග් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ලීග් තරගාවලියේ 11 වැනි වටය යටතේ පසුගිය බදාදා (22) ‍පොලිස් ක්‍රීඩාංගණයේදී ‍පොලිස් පිල හා හැව්ලොක්ස් පිල අතර පැවති තරගය දෙපිලම ලකුණු 24 බැගින් රැස් කිරීම නිසා ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

එම තරගය දක්වාම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන රැඳී සිටි ප්‍රබල හැව්ලොක්ස් පිල එකම ජයග්‍රහණයක් හෝ නොලබා ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටි ‍පොලිස් පිල සමග සහභාගි වූ මේ තරගය ජය ගැනීමට නොහැකි වීම නිසාම ඔවුනට එතෙක් හිමිව තිබූ දෙවැනි තැන අහිමිවීම කැපී පෙනුණි.

කෙසේ වුවත් තරගය පුරාම එකට එක කරමින් ‍පොලිස් පිල අවසන් මොහොත දක්වාම ප්‍රබලයාට එරෙහිව ප්‍රබල සටනක නිරතවීම නිසා මෙම තරගාවලිය තුළ ජයග්‍රහණයක් නොලැබුණත් දෙවැනි වරටත් පරාජය නොවී සිටීමේ අවස්ථාව හිමිකරගත්තේය.

තරගය ආරම්භ වී විනාඩි 5ක් ගතවෙන්නටත් පෙර ලකුණු 5ක් ලබාගනිමින් ‍පොලිස් පිල ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ නමුත් පළමු භාගය අවසන් වනවිට ලකුණු 17-12ක් ලෙසින් ඉදිරියෙන් සිටින්නට හැව්ලොක්ස් පිලට හැකිව තිබුණේ බලවත් සටනකින් අනතුරුවය.

සුදම් සූරියආරච්චි උත්සාහක දිනුම් දෙකක් වාර්තා කොට හැව්ලොක්ස් පි‍ලේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වුවද තරගය නිමාවට පත්වෙද්දී දෙපිලම උත්සාහක දිනුම් 4ක් හා ප්‍රවර්තන 2ක් ඔස්සේ ලකුණු රැස්කර තිබුණි.

සීවලී එදිරිවීර