අද මාර්ග අනතුරු සුලබය. එම අනතුරුවලින් බෙහෙවින් තුවාල ලබන්නේ සහ මරණයට පත් වන්නේ යතුරු පැදිකරුවන්ය. ඒ යතුරු පැදිය සෙසු වාහනවලට සාපේක්ෂව අනාරක්ෂිත නිසාය. යතුරුපැදියක ගමන් කරන විට ආරක්ෂිත හිස් වැසුම් පැලඳීම අවශ්‍ය වන්නේ එම අනාරක්ෂිත බව නිසාය. යතුරුපැදියක ගමන් කිරීමේ දී හිස් වැසුම් පැලඳීම අනිවාර්ය කොට අපේ රටේ නීති පනවා ඇත්තේ ද එම නීති කඩ කළ විට දඬුවම් ලබා දෙන්නේ ද හුදෙක් මහ ජනතාවගේ ම සුබ සිද්ධිය පිණිසය.

එහෙත් අපේ රටේ බොහෝ දෙනාට මේ පිළිබඳ නිසි අවබෝධයක් ඇති බවක් දක්නට නැත. බොහෝ දෙනා හිස් වැසුම් පලඳින්නේ සිය හිසේ ආරක්ෂාවට නොව පොලිසියෙන් ගැලවීම පිණිසය. එහෙයින් බොහෝ දෙනා භාවිත කරන්නේ ප‍්‍රමිතියෙන් යුතු හොඳ තත්ත්වයේ හිස් වැසුම් නොවේ. ඔවුහු පොලිස් ඇසින් ගැලවීම පිණිස ඉතා ම අබලන් කිසිදු ප‍්‍රමිතියක් නැති හිස් වැසුම් පැලඳ යතුරුපැදිවල ඉගිළෙති. සමහරු හිස් වැසුම පැලඳ නිකට යටින් ආරක්ෂිත පටි සවි කරන්නේ නැත. තවත් සමහරු යතුරුපැදියෙන් ඉගිලෙන්නේ ආරක්ෂිත හිස් වැසුම එහි හැඬලයේ රඳවා ගෙනය.

ඇතැම් දෙමාපියන් යතුරුපැදියේ ගමන් කරන විට හිස් වැසුම් පැලඳ යන අතර සිය දරුවා හිස්වැසුම් නැතිව අනාරක්ෂිත ලෙස රැුගෙන යාම මේ සියල්ලට ම වඩා කනගාටුදායකය. මේ දෙමාපියන්ට ආරක්ෂිත හිස් වැසුම් පැලඳීමේ අවශ්‍යතාව පිළිබඳ අබ මල් රේණුවක අවබෝධයක් තිබිණි නම් මෙවැනි කටයුතු කරන්නේ නැත. මේ නිසා සිය ආදරණීය දරුවා කෙතරම් අවදානමකට පාත‍්‍ර වන්නේ ද යන්න පිළිබඳ ඔවුන්ට වගක් නැත. නැත්නම් සිය දරුවාට ආරක්ෂා කර ගැනීමට තරම් වටිනා හිසක් ඇති බව තේරුම් ගැනීමට ඒ මව්පියන්ට හිසක් නැත. රටේ බොහෝ දෙනාට යතුරු පැදියේ යන විට හිස් වැසුම් පැලඳිය යුත්තේ පොලිසියෙන් ගැලවීමට නොව අනපේක්ෂිත අනතුරකින් සිය හිස ආරක්ෂා කර ගැනීමට බව තේරුම් ගැනීමට හිසක් නැත.

නැගෙනහිර පළාතේ ඇතැම් ඉසව්වල යතුරු පැදිකරුවන් හිස් වැසුම් පලඳින්නේ නැත. පොලිස් නිලධාරීන් මහ පාරේ රාජකාරි කළ ද යතුරු පැදිකරුවෝ හිස් වැසුම් නැතිව කිසිදු චකිතයකින් තොරව ඉගිළ යන්නේ රටේ නීතිය බල්ලාට දමමිනි. කතරගම දී පොලිස් අණට යතුරු පැදිය නතර නොකළේ යැයි හිසට වෙඩි තබන පොලිසිය නැගෙනහිර දී ඒ යතුරු පැදිකරුවන් නතර කිරීමට පවා උත්සාහ කරනු අප දැක නැත. මේ ආකාරයට නීතිය හෑල්ලූවට ලක් වීම මෙන්ම කිසි යම් නීතියක් පනවන්නේ ඇයි ද යන කාරණය පිළිබඳ ජනතාව දැනුම්වත් නොවීම ද කනගාටුදායකය. එය කෙළවර වන්නේ අවාසනාවන්ත සිද්ධිවලින් බව නැවත නැවත පසක් කරමින් ඇත.

පසු ගිය 22 වැනි දා උතුවන්කන්ද ප‍්‍රදේශයේ දී 18 හැවිරිදි තරුණයකුට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට ද තවත් එම වයසේ ම තරුණයන් දෙදෙනෙකුට බරපතළ තුවාල ලැබීමට ද සිදුවන්නේ මේ නොදැනුවත්භාවය සහ නොසැලකිල්ල නිසාය. එදින අලූයම එකට පමණ මේ තිදෙනා යතුරු පැදියක හිස වැසුම් නොපැලඳ අධික වේගයෙන් ගමන් කරන අතර ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී ඇත. යතුරු පැදිය ධාවනය කළ තරුණයා එතැන ම මිය ගිය අතර සෙසු දෙදෙනා රෝහල්ගත කර තිබේ.

රටේ නීතිවලට අවනත වී හිස් වැසුම් පැලඳ සාමාන්‍ය වේගයෙන් ගමන් කළේ නම් මේ අනතුරු සිදු නොවන්නට හොඳට ම ඉඩ තිබිණි. එසේ වී නම් ඉතා ම ළාබාල තරුණයකුට සිය ජීවිතය මහා පාරේ නිමා කරන්නට සිදුවන්නේ නැත. තවත් එම වයසේ තරුණයන් දෙදෙනෙකුට බරපතළ තුවාල ලබා රෝහල්ගතව දුක් විඳීමට සිදුවන්නේ නැත.

මේ අනතුරුවලින් මිය යන බොහෝ දෙනා ඉතාම තරුණ වයසේ සිටින අයයි. සදාකාලික ආබාධිතයන් බවට පත් වන්නේ ද තරුණ පිරිසකි. මේ රටේ ශ‍්‍රම බලකායයි. ඒ අය ඉදිරියෙහි තම තමන්ට පෞද්ගලිකව ගෙවා දැමීම සඳහා ඉතා ම දුක් සහිත අනාගත කාලයක් ඉතිරි වී තිබේ. එය රටට ම මහ බරකි. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා කළ යුත්තේ අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව යතුරුපැදි ධාවනය කිරීමය. හිස් වැසුම් නොපැලඳ අධික වේගයෙන් ගමන් කරන යතුරු පැදිකරුවන් පිළිගැනීමට මරුවා සැදී පැහැදී මහ මග සැඟව සිටියි. මරුවා වෙත යන්නේ ද මරුවා මග හැර ආරක්ෂිත ලෙස ඔබේ ගමනාන්තය වෙත යන්නේ ද යන්න තීන්දු කළ යුත්තේ ඔබය.