මේ වසරේදී ලෝක සෞඛ්‍ය දිනය ශ‍්‍රී ලංකාවේ සැමරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය  තීරණය කර ඇති  බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි.

සෑම වසරකම අපේ‍්‍රල් 7 වැනි දා ලෝක සෞඛ්‍ය දිනය සැමරෙන අතර මෙවර එහි තේමාව ලෙස  විශ්වීය සෞඛ්‍ය ආවරණය යන්න නම් කිරීමට නියමිතව ඇත. මේ පිළිබ`දව නිවේදනය නිකුත් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලයේ 142 වැනි සැසිවාරයේ දී ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඞ්රෝස් ඇඩනොම් විසින් මේ පිළිබඳව නිල වශයෙන් ජිනිවාහිදී නිවේදනය කර තිබේ. ශ‍්‍රී ලංකාව තුළ දිගු කාලයක සිට මහජනතාවට නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදීම අගය කිරීමක් වශයෙන් මෙවර ලෝක සෞඛ්‍ය  දිනය ශ‍්‍රී ලංකාවේ සැමරීමට තීරණය කළ බව ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය  සංවිධානයේ විධායක මණ්ඩලයේ 142 වැනි සැසිවාරය සඳහා ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින්  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විධායක මණ්ඩල සාමාජිකයකු ලෙස සහභාගී වී සිටින අතර , ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආර්යසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් ඇතුළු රජයේ සෞඛ්‍ය බලධාරීහු රැුසක් සහභාගී වූහ.

අරුන්දති වන්නිආරච්චි