මැතිවරණ සමයේ බෙදා දීමට සූදානම් කර තිබියදී මිනුවන්ගොඩ පොලිසිය විසින් සීල් තබන ලද ගෑස් ළිප් තොගයක් හොර පාරෙන් එළියට ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ගබඩා කර තිබෙන ගෑස් ළිප් තොගයක් මැතිවරණය ඉලක්ක කරමින් බෙදාදීමට සුදානම් වන බවට ලද තොරතුරක් මත මිනුවන්ගොඩ පොලිසිය එම ගබඩාව පරීක්ෂා කර තිබේ.

ඒ වන විට එහි ගබඩා කර තිබූ ගෑස් ළිප් වෙනත් ස්ථානයකට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුණු අතර පොලිසිය කළ විමසීමේ දී එහි සිටි පුද්ගලයන් කියා ඇත්තේ මෙම ගෑස් ළිප් ව්‍යාපාරික වුමනාවක් සඳහා ගෙන එන ලද බවය.
මිනුවන්ගොඩ පොල්වත්ත ප‍්‍රදේශයේ පිහිටි තමන්ගේ අනෙක් ගබඩාව වෙත ප‍්‍රවාහනය කිරීමට කටයුතු යොදා ඇති බව එම පුද්ගලයන් කී පසුව පොලිසිය ගෑස් ළිප් ප‍්‍රවාහනය කිරීමට ඉඩ ලබා දී ගබඩා කළ පසුව එම ගබඩා දෙකටම සීල් තබා ඇත.

මෙම ගෑස් ළිප් මිල දී ගෙන ඇත්තේ ආසන සංවිධාකවරයා එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී ලැබුණු මන්ත‍්‍රී ප‍්‍රතිපාදනවලින් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

2014 වසරේ ප‍්‍රතිපාදනවලින් මිල දී ගත් මෙම ගෑස් ළිප් මෙවර මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසි සහගත තත්ත්වයක් උදා කර ගැනීමේ අරමුණෙන් බෙදාහැරීමට සැලසුම් කර තිබී ඇත.

ව්‍යාපාරික වුවමනාවකට ගෙන එන ලද බව කියා පොලිසිය නොමග යවමින් ගෑස් ළිප් තොගය මැතිවරණයට පෙර මුදා ගැනීමට සංවිධායකවරයා කටයුතු කරමින් සිටින බව වාර්තා වී තිබේ.

මේ පිළිබඳව මිනුවන්ගොඩ ‍පොලිසියේ ඉහළ නිලධාරියකුගෙන් කළ විමසීමකදී කියා සිටියේ ගෑස් ළිප් තොගයක් මුද්‍රා නොතැබූ බවත්, මෙවැනි සිද්ධියක් පිළිබඳව වාර්තා වී නැති බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කිරීමටද පියවර ගෙන ඇත.

ව්‍යාපාර ලිපි‍ලේඛන ඉදිරිපත් කරමින් මෙම භාණ්ඩ තොගය මුදා ගැනීමට මේ වනවිට පියවර ගෙන ඇති හෙයින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුකර මැතිවරණය අවසන් වනතුරු එම ගෑස් ළිප් ගබඩා කර ඇති ස්ථානය සීල් කිරීමට මෙන්ම අලෙවි කිරීම තහනම් කිරීමටත් පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි.

රුවනි අන්දරආරච්චි