සිම්බාබ්වේ පිලට එරෙහිව කඩුලු පහක ජයක් ලැබිම ගැන සතුටු වුවත් මීට වඩා ශ්‍රී ලංකා පිලට තරගයේ වැඩි යමක් කිරීමට හැකියාව තිබූ බව නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

ඇත්තටම මිර්පූර් තණතිල්‍ලේ දෙවැනි වර පිතිකරණය කිරීමේදී වඩාත් අසීරුතාවකට මුහුණ දීමට සිදුවුණා. සමහර විට පන්දුව තරමක් යටින් පිත්තට එන්නෙ. ඒ වගේම විටෙක පන්දුව ඉපිලීමත් දක්නට ලැබෙන මෙවැනි තත්ත්වයක් යටතේ අවශ්‍යම ජයග්‍රහණය සිම්බාබ්වේ පිලට එරෙහිව ලැබිම සතුටක් වුවත් කණ්ඩායමේ මුල් සැලසුම තරගය අවසානයේ වෙනස් කිරීමට සිදුවූ බවද චන්දිමාල් පවසයි.

ඇත්තටම අපේ පන්දු යැවීමේ බලඇණියට වැඩි ගෞරවයක් ලබාදිය යුතුයි. පිතිකරණයේදී කුසල් ජනිත් පෙරේරා හා කුසල් මෙන්ඩිස් හොඳ ආරම්භයක් මුලින් ලබාදුන්නා. ඊට පසුව තමා සමග තිසර පෙරේරා එක්වී තරගය ජයග්‍රහණය කරා ගෙන යෑමට හැකිවූ බව චන්දිමාල් පවසයි.

අපි පිතිකරණයට යන්න කලින් අපේ සැලසුම වුණේ බෝනස් ලකුණක් සමග තරගය ජයගැනීමට. ඒ සඳහා ජයග්‍රාහී ඉලක්කය ඕවර 40ක් තුළ ලබාගැනීමට නියමිතව තිබුණා. ඒත් තරගයේ තත්ත්වය වෙනස් වුණා.  තණතිල්‍ලේ ඕවර 25කට පසුව අපේ තීරණය වෙනස් වුණා. මොකද තණතිල්‍ලේ අසීරු බව තේරුණ නිසා අපට මුලින් අවශ්‍ය වුණේ කෙසේ හෝ ජයග්‍රහණය ලබාගැනීමයි. ඇත්තටම තිසර පෙරේරා ගැන කතා කිරීමේදී ඔහු වඩාත් අත්දැකීම් පිරි ක්‍රීඩකයෙක්. ඔහු විදෙස් රටවල ගොඩක් දුරට ක්‍රීඩා කර තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කර තිබෙනවා. බංග්ලාදේශ තණතිල්‍ලේ ඔහුගේ දක්ෂතා ගොඩක් ඉහළයි. ඇත්තටම අපිට ප්‍රථම තරගයෙන් පසුව අපේ පළපුරුදුම ක්‍රීඩක නායක මැතිව්ස් ආබාධයක් නිසා අහිමි වුණා. මේ වෙලාවේ තිසර අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක් ලෙස වගකීම කරට ගැනීම ලොකු සතුටක්. ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා කණ්ඩායමට ලොකු ප්‍රයෝජනයක් වුණා යැයි චන්දිමාල් පැවසීය.

ඇත්තටම මීළඟ බංග්ලාදේශ තරගයට දින තුනක් තියෙනවා සූදානම සඳහා. මම හිත්නනේ පිතිකරු අංශය අපිට මීට වඩා දක්ෂතා අතරට පැමිණිය යුතුයි. මම හිතන්නේ එක් පිතිකරුවකු මුලින් හොඳ ආරම්භයක් ලබාගත්තොත් ඔහු දිගු ඉනිමක් කරා යා යුතුයි. මේ ගැන අපි සාකච්ඡා කර සැලසුම් කරනවා.

තමා නායකයකු ලෙස මැතිව්ස්ගේ අඩුව පුරවමින් කටයුතු කිරීමේදී කණ්ඩායමෙන් ලැබෙන සහාය වැදගත්.විශේෂයෙන් පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ සමග එක්ව කටයුතු කිරීමට ලැබිමත් සතුටක් බව පැවසූ චන්දිමාල් හතුරුසිංහගෙන් ක්‍රීඩකයන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඔහු අපේ පිලට ලොකු සම්පතක්. මම හිතනවා ඉදිරියට ක්‍රීඩකයන් හොඳින් දක්ෂතා පෙන්වයි. එක්දින පිටියේ ලොකු පසුබෑමක් තිබුණ වෙලාවක කණ්ඩායමට ජයග්‍රහණයක් ලැබිම සතුටක්. අනෙක් අතට මේ වෙලාවේ නායකයා වී කණ්ඩායමට දායකත්වය දීමත් සතුටක්. විශේෂයෙන් මුල් තරග දෙක පරාජය වීම නිසා තරගාවලිය ලොකු අභියෝගයක්. මේ නිසා ඉදිරියේදී සාකච්ඡා කර සැලසුම් කළ යුතුයි යනුවෙන් චන්දිමාල් පැවසීය.

ධම්මික රත්නවීර