ලබන ජුනි මාසයේ රුසියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී ජයග්‍රාහී කණ්ඩායමට ප්‍රදානය කරනු ලබන කුසලානය මේ වන විට රුසියාව පුරා නගරයෙන් නගරයට ප්‍රදර්ශන චාරිකාවක නයැළී සිටින අතර එම චාරිකාවේ ප්‍රථම විදේශීය නවාතැන බවට මෙවර පත්ව ඇති ශ්‍රී ලංකාවට පාපන්දු ලෝක කුසලානය අද (23) ළඟාවීමට නියමිතය.

කොකාකෝලා සමාගමේ අනුග්‍රහයෙන් සිදු කරනු ලබන පාපන්දු ලෝක කුසලානයේ ප්‍රදර්ශන චාරිකාව පසුගිය සැප්තැම්බර් 09 වැනි දා සිට රුසියාව තුළ නගරයෙන් නගරයට ගමන් කිරීම ආරම්භ කරනු ලැබිය.

පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් ඇරඹීමට පෙර එම කුසලානය ප්‍රදර්ශනය සඳහා රටින් රටට රැගෙන යන සම්ප්‍රදාය ජගත් පාපන්දු සම්මේලනය මෙවර ක්‍රියාවට නංවන්නේ ඉතිහාසයේ පළමු වරට පළමු විදේශීය නවාතැන ලෙස ශ්‍රී ලකාවේ කොළඹ නගරය තෝරා ගනිමින් වීම විශේෂත්වයකි. ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩාලෝලීන්ට පාපන්දු ලෝක කුසලානය සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාකර දීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ශ්‍රී ලංකා කොකාකෝලා ආයතනය එකට එක්ව උත්සව දෙකක් සංවිධානය කර ඇත.

ඒ අනුව ජනවාරි 23 වැනි දා විශේෂිත ගුවන් යානයක් මගින් ශ්‍රී ලංකාවට රැගෙන එන පාපන්දු ලෝක කුසලානය ශ්‍රී ලාංකිකයින්ට දැකබලා ගැනීම සඳහා ලැබෙන පළමු අවස්ථාව හිමිවන්නේ එදින පස්වරු 9.00ට කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නිරාවරණය කිරීමෙන් පසුවය.

අනතුරුව එම පාපන්දු ලෝක කුසලානය පසුදින එනම් ජනවාරි 24 වැනි දා පෙරවරු 8.45ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිරාවරණය කර  මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමට නියමිතය. මෙවර මෙම සංචාරයට රටවල් 51ක් අයත් වන අතර එය මීළඟට කොළඹ සිට රැගෙන යාමට නියමිතව ඇත්තේ මාලදිවයිනටය.

සීවලී එදිරිවීර