ආණ්ඩුව සූදානම් වන්නේ බැඳුම්කර වාර්තාව පිළිබඳ කතාබහ පෙබරවාරි 10 වනදා තෙක් ඇදගෙන ගොස් ඡන්දයෙන් පසු එය හමස් පෙට්ටියට දමා වසා දැමීමට යැයි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහමඩ් මුසම්මිල් මහතා ප‍වසයි.
“මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ තැන් කිහිපයකම එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, උප නායක රවී කරුණානායක, සභාපති මලික් සමරවික‍්‍රම හා මහලේකම් කබීර් හෂීම් යන අයගේ නම් සදහන් ව ඇති බව විශ්වාස කටයුතු මාර්ගවලින් අපි දැනගත්තා. බැඳුම්කර වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක‍්‍රියාවට නැංවීම පසෙක ලා එය ඡන්ද ගුණ්ඩුවක් හැටියට පාවිච්චි කිරීමයි අද සිදුවෙන්නේ..” යනුවෙන් ඒ මහතා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.