කතරගම නගරයේදී ‍පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට ‍පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබිමෙන් එම යතුරුපැදිකරු මියගොස් ඇති අතර, සිද්ධියෙන් පසු අත්අඩංගුවට ගත් ‍පොලිස් කොස්තාපල්වරයා තිස්සමහාරාමය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම 30 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම වෙඩි තැබිමේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද කතරගම ප්‍රදේශයට පිටත්කර යවා ඇතැයි ‍පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ කතරගම, නාගහවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 44 හැවිරිදි නිරෝෂන් නමැති අයෙකි. මෙම පුද්ගලයා කතරගම ප්‍රාදේශීය සභාවේ සේවකයකු බව පැවසේ.
පෙරේදා (20) රාත්‍රී 10.55ට පමණ මෙම වෙඩි තැබිම සිදුවී ඇත.

කතරගම ‍පොලිසියට අනුයුක්ත ‍පොලිස් කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක සෙබළකු කතරගම නගරයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටියදී වැඩිහිටිකන්ද පාර දෙසට ධාවනය වෙමින් පැවති යතුරුපැදියක් නතර කරන ලෙසට සංඥා කර ඇත. නමුත් යතුරුපැදිකරු ‍පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇත.

මෙම අවස්ථාවේ ‍පොලිස් කොස්තාපල්වරයා සිය රාජකාරි ගිනි අවියෙන් යතුරුපැදිකරුට වෙඩි තබා ඇත.
බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. යතුරුපැදිය පිටුපසින් ගමන් කළ පුද්ගලයාද යතුරුපැදියෙන් වැටී සුළු තුවාල ලබා ඇත.

යතුරුපැදිකරුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.
යතුරුපැදිකරු සමග පිටුපසින් ගමන් ගත් පුද්ගලයා මෙසේ කියා සිටියේය.

නවත්වපු බයික් එකට තමයි ‍පොලිසියෙන් වෙඩි තිබ්බේ. කඩෙන් කෑම එකක් අරගෙන අඩි 20 ක් විතර ගිහින් බයික් එක නතර කළාට පස්සේ තමයි ‍පොලිසිය වෙඩි තිබ්බේ. පටස් පටස් ගාලා වෙඩි තියපු ගමන් බයික් එක පෙරළුණා. යන බයික් එකට වෙඩි තිබ්බා නම් මට මීට වඩා තුවාල වෙන්න ඕනේ. මම නිරෝෂන්ව අත්දෙකෙන් උස්සද්දී ‍පොලිස් කාරයා මාව නැගිට්ටවලා කනට පහරවල් තුනක් ගැහුවා. යැයි පැවසීය.

මෙම සිද්ධියෙන් පසු කුපිත වූ ප්‍රදේශවාසීහු පෙරේදා (20) මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ (21) පෙරවරුව දක්වා කලහකාරී ලෙස හැසිරෙමින් කතරගම ‍පොලිසියට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කළහ. මේ හේතුවෙන් ‍පොලිස් ස්ථානයේ ජිප් රථයකටද අලාභහානි සිදුවී ඇත. ‍පොලිස් ස්ථානයේ නාම පුවරුවට සහ දොර ජනෙල්වලටද හානි සිදුවී ඇතැයි ‍පොලිසිය සඳහන් කරයි.

කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ‍පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය. පසුව ප්‍රදේශයේ ආරක්ෂාවට ‍පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවන ලදි.

කතරගම රෝහල ඇතුළු රාජ්‍ය ආයතන කීපයකටම ‍පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව යොදවා ඇත.
මේ අතර කතරගම ප්‍රදේශවාසීන් මෙම වෙඩි තැබිමේ සිද්ධියට එරෙහිව කතරගම ‍පොලිසිය ඉදිරිපිට විරෝධය දක්වා තැන් තැන්වල ටයර් පුලුස්සා ඇත.

ඊයේ දහවල් ද කතරගම ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ‍පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

‍පොලිසියට පහර දී කලහකාරි ලෙස හැසිරුණු කාන්තාවන් 13 දෙනකු ඇතුළු 58 දෙනකු ඊයේ දහවල් අත්අඩංගුවට ගත් බව ‍පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

වෙඩි තැබිමේ සිද්ධියට විරෝධය පළකරන පෙරේදා රාත්‍රියේ සිට මාර්ගයන් අවහිර කිරීම, මාර්ගයට අලාභහානි කිරීම, ‍පොලිස් නිලධාරීන්ට පහර දී තුවාල සිදු කිරීම, ‍පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන කාරණා මත මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ‍පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පිරිස ඊයේ සවස තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙම මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය කතරගම රෝහ‍ලේදී ඊයේ (21) පැවැත්වීමට නියමිතව තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධව තංගල්ල කොට්ඨාසය භාර ‍පොලිස් අධිකාරී කේ.ජී.එල්. ගීතාල් මහතා යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

සාලිය කුමාර ගුණසේකර