ආණ්ඩුව තවත් රටේ දැවෙන ප‍්‍රශ්නයක් විසඳා තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සහ පළාත් සභා මන්ත‍්‍රීවරු සඳහා පැවති නිදහස් තැපැල් පහසුකම දෙගුණ කිරීමෙනි. මේ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට මෙතෙක් හිමි වූ රුපියල් 175,000ක සහ පළාත් සභා මන්ත‍්‍රීවරයකුට හිමි වූ රුපියල් 24,000 ක නිදහස් තැපැල් පහසුකම දෙගුණයකින් වැඩි වෙයි. මෙතැන් සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට වාර්ෂිකව රුපියල් 350,000ක නිදහස් තැපැල් පහසුකම් හිමිවෙයි. පළාත් සභා මන්ත‍්‍රීවරයකුට හිමි නව නිදහස් තැපැල් පහසුකම රුපියල් 48,000කි.

ආණ්ඩුව පත් වූ මුල් කාලයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු පැමිණීමේ දීමනාව ඉහළ දැම්මේය. ජනතා සේවයට කැප වීම වෙනුවෙන් මාසිකව වැටුප්/දීමනා, නිවාස දීමනා, දුරකථන දීමනා, ඉන්ධන දීමනා, කාර්ය මණ්ඩල දීමනා ආදි වශයෙන් ලක්ෂ ගණනක මහජන මුදලින් නඩත්තු කරන මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීම වෙනුවෙන් ද මුදල් ගෙවිය යුතුය. මාසිකව කිසියම් කාර්යයක් සඳහා වැටුපක් හෝ දීමනාවක් ලබන පුද්ගලයකුට එම වැටුපට අමතරව නැවත එම කාර්යය කිරීම සඳහා දීමනා ගෙවන වෙනත් සාමාන්‍ය රැුකියාවක් ගැන අප දන්නේ නැත.

ඇතැම් විට රටේ ප‍්‍රගමණය දියුණුව උදෙසා තමන් පාර්ලිමේන්තුවට පැමිණ ඉටු කරන මහඟු මෙහෙවර නිසා මහජන බදු මුදලින් එවැනි සුවිශේෂ දීමනාවක් තමන් ලැබීම සාධාරණ යැයි එම ගරු සේවාවේ යෙදෙන පිරිස සිතනවා විය යුතුය.

ඊට පසු ද මැති ඇමැතිවරුන්ට සැප වාහන ගෙන ඒම සඳහා රුපියල් ලක්ෂ 500 – 600 බැගින් වියදම් කළ අවස්ථා වාර්තා විය. කුලියට ගත් සුවිසල් ගොඩනැගිලිවලට පදිංචියට පවා නොගොස් මාසිකව ලක්ෂ සිය ගණනින් මුදල් ගෙවූ බව රටට රහසක් නොවේ. ජනාධිපතිවරයා ඉතාම චාම් උත්සවයක් පවත්වා දිවුරුම් දී වැඩ භාරගත් ආදර්ශයට එම ආණ්ඩුව තුළ කිසිදු ආයුෂක් තිබුණේ නැත. අනතුරුව බොහෝ උත්සවලට විශාල මුදල් සම්භාරයක් වියදම් කරන බව රටට රහසක් නොවේ.

මේ ආකාරයට මැති ඇමැතිවරු සිය පහසුකම් වැඩි කරගෙන ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ද ජනතාවගේ ජීවන තත්ත්වය එතරම් සුන්දර නැත. පොල් ගෙඩියේ, හාල් කිලෝවේ සිට සියලූ දෑවල මිල ඉහළ ගොසිනි. ඉහළ යන උද්ධමනයට සාපේක්ෂව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක වැටුප් ඉහළ දැමීමට වැඩපිළිවෙළක් නැති වුවද ඉහළ ගිය තැපැල් ගාස්තුවට සාපේක්ෂව සිය නිදහස් තැපැල් පහසුකම දෙගුණ කර ගැනීමට පාලකයන්ට බුද්ධිය පහළ වෙයි.

මේ මන්ත‍්‍රීවරුන් සඳහා වන නිදහස් තැපැල් පහසුකම 2007 වසරේ සිට සංශෝධනය කර නොමැති නිසාත් ඒ අතර තැපැල් ගාස්තු ඉහළ ගොස් ඇති නිසාත් එම පහසුකම වසර 10කට පසු දෙගුණ කර ගන්නේ නම් 2007 වසරට සාපේක්ෂව 2018 වසර වන විට රටේ ජනතාවගේ වැටුප ද දෙගුණ කිරීමට පාලකයන් කටයුතු කළ යුතුය. එසේම මේ කාර්ය සඳහා මුල් වී කටයුතු කළ තැපැල් සේවා ඇමැතිවරයා පසු ගිය දා තම දෙපාර්තමේන්තුව පාඩු ලබන්නේ යැයි තැපැල් ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කළ බව ද අප අමතක කළ යුතු නැත.

එම ආයතන පාඩු ලබන්නේ නම් එය ජනතාව දැරිය යුතුය. එය මැති ඇමැති වරප‍්‍රසාද දෙගුණ කිරීමට කිසිම හේතුවක් නොවන බව මෙම කටයුත්තෙන් සනාථ වෙයි. ඒ අනුව වාර්ෂිකව රුපියල් 350,000 බැගින් නිදහස් තැපැල් පහසුකම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාට ලැබෙයි. රුපියල් 48,000ක බැගින් පළාත් සභා මන්ත‍්‍රීවරුන් 455 දෙනෙකුට ලැබෙයි. (ඒ පහසුකම සඳහා ජනතාව දරන මුදල අවශ්‍ය අයකුට ගණනය කරගත හැකිය.* නැවත එම තැපැල් සේවා නඩත්තු කිරීම සඳහා මහජන බදු මුදල් පොම්ප කෙරෙයි.

කෙසේ වුව ද කරාපිටිය රෝහලේ 2017 වර්ෂයට අදාළ ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලට ගැනීම, ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරණ කටයුතු, ආරක්ෂක සහ පිරිසිදු කිරීම් සේවා සඳහා කෝටි පනහකට අධික මුදලක් තවමත් ආණ්ඩුව ගෙවා නැත.

එම රෝහලේ හෘද හා උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ අක‍්‍රීය වූ මධ්‍ය වායු සමීකරණ පද්ධතිය කලට වේලාවට ප‍්‍රතිසංස්කරණය කිරීමට නොහැකිය. විවිධ ස්වාභාවික විපත්වලින් අසරණ වූ ජනතාව කුඩාරම්වලය. ආණ්ඩුව පළමුව ජනතා නියෝජිතයන් මුහුණපා ඇති සියලූ ගැටලූ විසඳා එම පිරිස සුඛිත මුදිත කොට ඉඩක් ලැබුණොත් ජනතා ගැටලූ විසඳීමට ද යොමු වනු ඇතැයි මෙවැනි සිද්ධි දකින කෙනකු සිතිය හැකිය.