බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව කතාව අලුත් වී තිබේ. එලෙසම ඒ පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදය අවසන් වූයේද නින්දිත ගුටි කෙළියකිනි. මැති ඇමැතිවරු පරුෂ බස් දොඩමින් ගුටිබැට හුවමාරු කරගත් ආකාරය දෙස රටම බලා සිටියේ විශාල අපුලකිනි. ඒ ගැනත් රටතොට දේශපාලන වාතාවරණයත් පිළිබඳව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග කළ සාකච්ඡාවකි.

ප්‍ර – පාර්ලිමේන්තුවේ ගුටිකෙළිය ගැන ජවිපෙ මොකද කියන්නෙ?
පි – පරණ හොරු අලුත් හොරුන්ට ඇඟිල්ල දිගු කරනවා. අලුත් හොරු පරණ හොරු දෙසට ඇඟිල්ල දිගු කරනවා. හොරු හොරු ගහගන්නවා. හොරු කණ්ඩායම් දෙකක අරගලයක් ජනතා අවධානය වෙනතක හැරවීමට සැලසුම් සහගතව කළා වෙන්නත් පුළුවන් ජනතාවට අපි කියන්නේ මේ සිදුවීම් දෙස බලා වින්දනයක් ලබනවා වෙනුවට හොර කණ්ඩායම් දෙක ගැන අවබෝධයක් ලබාගන්න. ගම්වල වුණත් පාතාල කල්ලි, මැර කල්ලි අතර ගැටුම් ඇතිවෙනවා. මේකත් එවැන්නක්. දෙගොල්ලොම ජනතාවගේ බදු මුදල් වංචා කළ අය. දැන් බොරුවට සංදර්ශන දානවා. මේ දේවල් නිසා බැඳුම්කර හොරුන්ට දඬුවම් ලබාදීමත් ප්‍රමාද වෙනවා.

ප්‍ර – කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට යොමු කර තිබුණේ නැහැ. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
පි – ජනාධිපතිවරයා පත් කළේ මේ රටේ ජනතාවයි. ජනාධිපතිවරයාට පමණක් නොව කොමිසමටත් වැටුප් ගෙවන්නේ ජනතාවයි. කොමිෂන් වාර්තාව රට හමුවේ තැබිම ජනාධිපතිගේ යුතුකම මෙන්ම වගකීමයි. ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ගොස් මේ වාර්තා පිටපත් අප ඉල්ලා සිටියේ මේ නිසයි. තොරතුරු දැන ගැනීමේ පනතට අනුව අදාළ ලියකියවිලි අප වෙත ලබාදීමට ‍ලේකම්වරයා බැඳී සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වාර්තාව ජනාධිපති මන්දිරයේ තියාගෙන දුම් අල්ලන්නේ නැතිව වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් ඔහු හොරු ආරක්ෂා කරන කෙනෙකු ලෙසට සිතන්නට වෙනවා.

ප්‍ර – අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයකුත් ගෙනැවිත් තිබෙනවා. ජවිපෙන් මෙයට අත්සන් තැබුවද?
පි – විශ්වාස භංග ගෙන ආ යුත්තේ සමස්ත ආණ්ඩුවටම එරෙහිවයි. ඇමැතිවරැ වෙන් වෙන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමෙන් හෝ ඔවුන්ගේ විෂය පථයත් මාරු කළ පමණකින් ගැටලුව විසඳෙන්නේ නැහැ. බැඳුම්කර සිද්ධියට අගමැතිවරයා සෘජුවම වගකිවයුතු බවට අපි චෝදනා කරනවා. හොඳම විසඳුම හොරුන්ගෙන් තොර පාලනයක් පිහිටුවා ගැනීම ජනතාවගේ වගකීමක්.

ප්‍ර – ජනාධිපතිවරයාත් කඩුව වැනුවා විතරයි නේද?
පි – මීට පෙර කොමිෂන් සභා වාර්තාවලට සිදුවූ දේවල් අපට ඉතා හොඳින්ම මතකයි. අපට වුවමනා වූයේ මේ වාර්තාව සමාජගත කිරීමයි. ජනාධිපති කොමිසමේදී හා කෝප් කමිටුවේදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණුවලට අනුව මතෛක් ගෙන ඇති පියවර ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකියි. සිදුවූ කිසිවක් නෑ, හොරු නිදැල්‍ලේ. පරීක්ෂණ කරන ආයතනවලට කෝචොක් කිරීමට පටන්ගෙන තිබෙනවා.

ප්‍ර – මැතිවරණයක් අත ළඟ. බැඳුම්කර සිද්ධියත් මෙහි තීරණාත්මක සාධකයක් බවට පත්වෙනවා. නමුත් ගැමි ජනතාව ඒ සම්බන්ධයෙන් එතරම් දැනුවත් නෑ නේද?
පි – බැඳුම්කර, මූල්‍ය මණ්ඩල, වෙන්දේසි ක්‍රමය, ප්‍රාථමික ගැනුම්කරුවන්, වචන හරඹ ජනතාවට නුහුරු නමුත් සිද්ධිය ගැන ඕනෑවටත් වඩා ජනතාව දැනුවත්. මේවා ගැන නොඇසූ ජනතාව පවා ඉකුත් වසර දෙක තුළ හොඳහැටි තොරතුරු දැන ගත්තා. මෙම සිද්ධියෙන් අවබෝධ කරගත යුත්තේ ගනුදෙනුවේ දිග පළල හෝ මහ බැංකුවේ තිබෙන මුදල් ප්‍රමාණය ගැන නොව, තමන් ඡන්දය දුන් ආණ්ඩුව ඒ ජනතා විශ්වාසය ආරක්ෂා කළාද යන්නයි. ක්‍රමවේදය නොතේරෙන නමුත් රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ බිරිඳ බැඳුම්කර චූදිතයන්ගෙන් ගෙවල් කුලී ලබාගත් බව කවුරුත් දන්නවනේ.

ප්‍ර – හිටපු මුදල් ඇමැතිවරයා නම් කියන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාව ව්‍යාජ එකක් බවයි. මේ සම්බන්ධයෙන් ජවිපෙ අදහස කුමක්ද?
පි – රවි කරුණානායක මහතා පදිංචිව සිටි නිවසත් ව්‍යාජ එකක්ද? එයට කුලී ගෙව්වේ ව්‍යාජ පුද්ගලයෙක්ද? අර්ජුන ඇලෝසියස් ව්‍යාජද? හොරකමට සම්බන්ධ කෙනෙක් වාර්තා ප්‍රතික්ෂේප කිරීම ගැන පුදුම විය යුතු නැහැ. මෙවැනි බරපතළ හොරකමක් නොව කෙසෙල් කැනක් හොරෙන් කැපූ කෙනෙක් කවදාවත් තමා කළ වරද පිළිගන්නෙ නැහැනේ. රවිගේ මේ සම්බන්ධව හැසිරීමත් ඒ වගෙයි. මෙතරම් හොඳින් කරුණු ඔප්පු වී තිබියදීත් එවැනි ප්‍රකාශ කිරීමට ඔහුට ධෛර්යය ලැබුණේ කෙසේදැයි යන්න ගැටලුවක්. එජාප නායකයාගේ අනුග්‍රහය ඔහුට ලැබෙනවා පමණක් නොව, බැඳුම්කර මුදල් මැතිවරණවලට වියදම් කර පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන්ගෙත් සහාය රවිට ලැබෙනවා.

ගම්බද ප්‍රදේශවලින් පාර්ලිමේන්තුවට පත්ව ආ ඇතැම් මන්ත්‍රීවරුන්ට කඩුවෙල ප්‍රදේශයෙන් නිවාස මිලදී ගැනීමට රවි කරුණානායක වැය කළේ වාහන අරගෙන දුන්නේ මේ මුදල් උපයෝගි කරගෙන බවටත් ආරංචියි. එජාපයේ වෙනම මන්ත්‍රී බැටෑලියන් එකක් රවි විසින් නඩත්තු කරනවා. කනගාටුවට කරුණ වන්නේ මෙවැනි අයටත් ආශීර්වාද කර පිරිත් නූල් ගැට ගැසීමත්, ඇතැම් ස්වාමීන් වහන්සේලා කටයුතු කිරීමයි. සමහර එජාප ආධාරකරුවනුත් එසේමයි.

ප්‍ර – පාර්ලිමේන්තු විවාදයෙන් පසුව ඊළඟට වන්නේ කුමක්ද?
පි – ඡන්ද විමසීම විවාදයට අදාළ වන්නේ නැහැ. කෝප් කමිටු වාර්තාව හා ජනාධිපති කොමිසමේ වාර්තාව දඬුවම් නියම කිරීම සඳහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. එහි ප්‍රමාදයක් තියෙනවා. කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉකුත් 2016 වසරේ ඔක්තෝබර් 02 දිනයි. එය නීතිපතිවරයාට යවන බවට එදා අගමැතිවරයා සහතික ලෙස පැවසුවත් මාස 15ක් ගතවී ඇතත් නීතිපති දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගෙන නැහැ. දැන් ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපති වෙත ගියත් යමක් සිදුවේවි කියලා නම් අපි හිතන්නේ නැහැ. අප සිතන ලෙසට මේ ප්‍රමාදය සිදුවන්නේ අන් කිසිවක් නිසා නොව වංචාවට හසුව සිටින්නේ දේශපාලනයේ ඉහළම පුද්ගලයන් නිසයි. මෙය තවදුරටත් සෝද සෝදා මඩේ දැමිය යුතු නැහැ. වාර්තා මත පදනම්ව නඩු පැවරීමට කටයුතු කිරීමයි.

ප්‍ර – මෙම සිද්ධියත් සමගම හවුල් ආණ්ඩුවේ පක්ෂ දෙකේ භේදය එළිපිටම පෙනෙන්නට පටන්ගෙන තිබෙනවා නේද?
පි –  මේ සිදුවෙමින් පවතින්නේ දෙගොල්ලොම දැනුවත්ව කෙරෙන වංචාවක්. කුමන ප්‍රශ්න පැන නැගුණත් මොවුන් හවුල් ආණ්ඩුවේ ඉන්නවා. ඇමැති වරප්‍රසාද භුක්ති විඳිනවා. ඇමැති බලතල ක්‍රියාත්මක කරනවා. කැබිනට් මණ්ඩලයේ එක්ව ඉඳගන්නවා. ගමට ඇවිත් දෙපිරිස වෙන වෙනම ඡන්දය ඉල්ලනවා. මැතිවරණ වේදිකාවලදී බොරුවට බැණ ගන්නවා. මේ රවටන්නේ රටේ ජනතාවයි. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හෝ වෙනත් ඕනෑම සිද්ධියකට ශ්‍රීලනිපය, එජාපයට චෝදනා කරනවා නම් කළ යුතු වන්නේ ආණ්ඩුවෙන් ඉවත්වීමයි. එසේ නොමැතිව එකට ලගින ගමන් බැණලා වැඩක් නැහැ. මේක දෙබිඩි ප්‍රතිපත්තියක්.

ප්‍ර – ඡන්දය ළඟ එන විට ආණ්ඩුව රට වටේම විවෘත කිරීම්, සංවර්ධන ව්‍යාපෘති ආදිය ක්‍රියාත්මක කරනවා. මේවා මැතිවරණ අල්ලස් ‍නෙවෙයිද?
පි – මැතිවරණ සමයකදී වුවත් රටේ සංවර්ධන කටයුතු ඇනහිටවිය යුතු නැහැ. ඒ නමුත් ඒවායේ ප්‍රමිතිය පිළිබඳව නොසලකා ඡන්දයට පෙර විවෘත කිරීම් කරනවා නම් ඒවා බලපාන්නේ ජනතාවටයි. අලුත් මැතිවරණ ක්‍රමයක් රටට හඳුන්වා දීමට අපි මූලික වූයේ අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙනුයි. නමුත් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එම සංස්කෘතියට අනුගත වී තිබෙන බවක් දක්නට නැහැ. ඔවුන් තවමත් සිටින්නේ බඩු බෙදන රජයේ මුදල්වලින් අපේක්ෂකයා ප්‍රවර්ධනය කරන සංස්කෘතියේම තමයි. මේ වෙනුවෙන් මොවුන් මැතිවරණ කොමිසමේ කනෙනුත් රිංගනවා. මේ සංස්කෘතිය පරාජයට පත් කළ යුත්තේ ජනතාව විසින්මයි. මේ කිසිවෙක් නීතියට යටත්වන හෝ නීත්‍යනුකූලව කටයුතු කරන අය ‍නෙවෙයි. නමුත් මේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ මෙවැනි නීතිවිරෝධී වැඩ කළ අයට දඬුවම් ලබාදී තියෙනවා. ඉකුත් 2015 මැතිවරණයේදී ජනතාව දූෂිතයන්ට දඬුවම් දුන්නේ ඔවුන්ගේ පාලනය අහෝසි කිරීමෙන්. බඩු බෙදලා ජනාධිපතිවරණය දිනා ගැනීමට මහින්දට නොහැකි වුණා නම් මෙම පළාත් පාලන ඡන්දයේදී ඒ ක්‍රමයම අනුගමනය කරන ගෝලබාලයන්ටත් අත්වන්නේ ඒ ඉරණමයි.

ප්‍ර –  ඔබ ගමේ ජනතාව හමුවන අවස්ථාවලදී ගම ගොඩනගන ජවිපෙ වැඩපිළිවෙළ ගැන ඔවුන් මොකද කියන්නේ?
පි – ගම් මට්ටමේ ජනතාවගේ හැසිරීම හඳුනා ගැනීම පහසුයි. මොකද අපි ඒ ජනතාව සමග මැතිවරණ රාශියකට මුහුණ දී තිබෙනවා. අත්දැකීම් තියෙනවා. මෙවර ඔවුන් අතර සැලකිය යුතු වෙනසක් ඇතිවෙන බවක් පෙනෙනවා. අපි අපේ අපේක්ෂකයන් සමග ගම්වල ගෙයින් ගෙට යනකොට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඔවුන් පසුවන්නේ ආණ්ඩුව ගැන විශාල කලකිරීමකින්. නැවත වතාවක් රාජපක්ෂට හෝ එජාපයට ගම භාරදීමට ජනතාව සූදානම් නැහැ. අපි මුලින්ම කීවේ ජවිපෙට ගම දීලා බලමු යනුවෙනුයි. දැන් අපේ උත්සාහය එම මතය තවදුරටත් ගමේ ජනතාව අතර තහවුරු කිරීමයි. නව ඡන්ද ක්‍රමය තුළ ජනතාවගේ වෙනසක් ඇතිව තිබෙන බවත් පැහැදිලියි. මේ සියලු හේතූන් නිසා අපි ඉතා හොඳ ප්‍රතිඵලයක් බලා‍පොරොත්තුවෙන් සිටිනවා. දූෂණය පිටු දැකීමට, වංචාව, හොරකම නතර කිරීමට හැකියාව ඇත්තේ ජවිපෙට පමණයි.

ප්‍ර – මෙරට මැතිවරණ ඉතිහාසය තුළ හැමදාමත් දකින්න ලැබෙන්නේ පවතින ආණ්ඩුවට බණිමින් සිට මැතිවරණය දා ඡන්ද ‍පොළේදී සුපුරුදු පක්ෂයට පක්ෂයේ අපේක්ෂකයන්ට ඡන්දය දීමයි. මෙවර ඒ තත්ත්වය වෙනස් වේ යැයි ඔබ සිතනවාද?
පි – තමන් දෙන ඡන්දය ජයග්‍රහණය කළ යුතු බවට මේ රටේ ජනතාව තුළ මුල් බැසගත් විශ්වාසයක් තියෙනවා. එය දේශපාලනිකව නිවැරදි දැක්මක් නොවෙයි. ඡන්දයක් ලබාදිය යුත්තේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ අනුවයි. මම පෙර සඳහන් කළ ජනතාවගේ මනෝභාවය පසුගිය කාලය පුරාම එජාපය හා ශ්‍රීලනිපය ඉතා සූක්ෂ්ම ලෙසින් ප්‍රයෝජනයට ගනු ලැබුවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී මේ බව ඉතා හොඳින් පැහැදිලි වූවා. දිනන පක්ෂයට කතිරය ගසා ජයග්‍රහණ අවස්ථාවේදී පමණක් යම් මානසික තෘප්තියක් ලබා ඉතිරි වසර පහම දුකින් සිටිනවා වෙනුවට දුරදිග බලා ඡන්දය පාවිච්චි කිරීම ජනතාව සතු වගකීමක්.

සාකච්ඡා කළේ : තිලක් පුෂ්පකුමාර
thilakpushpakuma7@gmail.com