පාර්ලිමේන්තුවේ දී ගුටි හුවමාරුව සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳ එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සමග රිවිර ඉරිදා සංග්‍රහය කළ සාකච්ඡාවකි.

ප්‍ර: පාර්ලිමේන්තුව ඇතුළේ ඇයි මේ මරා ගන්නේ?
අපි නම් මරා ගන්නේ නෑ. අපිට මතක් වෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයලගේ දේශපාලන ගමන බලයට ඇවිත් ආරම්භ කළේ කොහොමද කියලා. විශේෂයෙන් 2005 දී එතුමලා බලයට ඇවිත් කථානායක පත් කර ගැනීමේ ඡන්දයේ දී එවකට පාර්ලිමේන්තුව නියෝජනය කරපු ගරුතර මහා සංඝරත්නයට පරුෂ වචනයෙන් බැණ වැදිලා පහර දීලා භික්ෂූන් වහන්සේලාට රෝහල් ගතවෙන තත්ත්වයට පත් කළා. ඒ ඔවුන්ගේ මැර දේශපාලනය, ජඩ දේශපාලනය රටට ලෝකයට පෙන්නුම් කරමින්. එලෙස ආරම්භ කළේ එයාලගේ ගමන. මගේ පියාවන දොස්තර ජයලත් ජයවර්ධනට මේ අද ඒකාබද්ධ විපක්ෂ මැර කණ්ඩායමට නායකත්වය දෙන දිනේෂ් ගුණවර්ධන තවත් පිරිසක් එකතු කරගෙන ප්‍රහාරයක් එල්ල කළා.

ප්‍ර: ඔබ දකින පරිදි මේ ගැටුම ඇති වෙන්න මූලික හේතුව කුමක්ද?
බැඳුම්කර කොමිසමෙන් ලබා ගත්ත වාර්තාව පිළිබඳ විවාදයක් අවශ්‍යයි කියලා ඉල්ලීම කළේ දිනේෂ් ගුණවර්ධන. අගමැති ප්‍රකාශ කළා අපි සූදානම් විවාදයකට එන්න කියලා. කථානායකතුමා පාර්ලිමේන්තුව කැඳවලා ඒ පිළිබඳ විවාද කරන්න දිනයක් නියම කළා.

ප්‍ර: හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට දුන්නේ නෑ. එහෙම නොදී මොකද්ද කරන විවාදය. ඒකාබද්ධ විපක්ෂය මතු කරන්නේ එම තර්කය
ඔව්. ඒත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට දිය  යුත්තේ එක්සත් ජාතික පක්ෂය ‍නෙවෙයි. මෙම වාර්තාව දිය යුත්තේ ජනාධිපති ‍ලේකම්වරයා විසින්. එතුමා ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා. අපිත් පිළිගන්නවා මේක පාර්ලිමේන්තුවට ලබා දිය යුතුයි. එහි සම්පූර්ණ වගකීම ජනාධිපති ‍ලේකම්වරයා විසින් භාරගත යුතුව තිබෙනවා.

ප්‍ර: එහෙම එම වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දීලා නැති බව දැන දැන මේ පිළිබඳ අගමැතිවරයා ඇයි විශේෂ ප්‍රකාශ කරන්න ගියේ.
රටට වගකියන පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙක් හැටියට එතුමාගේ ප්‍රකාශය මේ පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙහිදී කලබල වුණ, බය වුණ පිරිස් සභාව තුළ ඝෝෂා කරමින් සභා ගර්භය මැදට ආවා. එහෙම ඇවිත් තමයි නොමනා ලෙස හැසිරුණේ. අගමැතිතුමා එතුමාගේ විශේෂ ප්‍රකාශය කරමින් ඉද්දී මම එතුමාගේ ඉදිරියට ගියා.

ප්‍ර: ඇයි ඔබ අගමැතිතුමාගේ ඉදිරියට ගියේ?
මොකද ඔවුන් සභා ගර්භය මැදට ආපු නිසයි මම ගියේ. සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා ‍පොතකින් අගමැතිතුමාට පහර දුන්නා. මම අත දාලා ඒ ‍පොත පැත්තකට යොමු කළා. මේකෙන් පේන්නේ මොකද්ද? මේ රටේ අගමැතිට කථානායකට අභියෝග කරන්න මේ මැර හොර රැල අද ඉදිරියට ඇවිත්. එදා මහින්ද යුගයේ තිබුණ වනචාරී දේශපාලනය, ඒකාධිපති වියරුව තමයි මේ තුළින් පෙන්නුම් කරන්නේ. මේ ඒ අය තුළ ඇති පුරුද්ද තමයි එළියට ආවේ. ඒ තුළින් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය තමයි මේ වනචාරීන් විනාශ කරලා දැම්මේ. මේ සිදුවීම් දැකපු පිරිස මොකද හිතන්නේ. මේ පිළිබඳ කථානායකතුමා විමර්ශනයක් කරලා නීතිය ක්‍රියාත්මක කරලා පාඩමක් ලබාදිය යුතුයි. මේ පිරිසට රට නොවේ ආයේ ගම් සභාවක්වත් දෙන්න සුදුසු පිරිසක් නෙවේ කියන එක පැහැදිලියි. එදා ගැහුවෙත් අපිට. අද ගහන්නෙත් අපිට මේ අය මේ කරන්නේ හිඟන මැර දේශපාලනයක්. අපි ඒක සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා.

ප්‍ර: හැබැයි ඉතිං ඔබලාත් සිල්ගත්ත වගේ හිටියේ නෑනේ, ඔබලා හැසිරුණෙත් ඒ විදිහටමනේ?
දෙයි හාමුදුරුවනේ එළවා එළවා ගහනකොට දුවන්නද කියන්නේ. අපිට එහෙම නම් ඉතිං කරන්න තියෙන්නේ ඒ වනචාරී මැර කණ්ඩායමට පාර්ලිමේන්තුව භාර දීලා අපිට එළියට වෙලා ඉන්න එක.

ප්‍ර: ඇයි ඔබට සිහිය නැති වුණේ, බය වුණාද?
අගමැතිතුමාට ‍පොතෙන් ගහද්දී මම ඒක නතර කළා. ඒ වෙලාවේ මට ලොකු ආවේගයක්, කේන්තියක් ආවා. මේ රටේ අගමැතිට මෙහෙම උත්තරීතර පාර්ලිමේන්තුව ඇතුළෙදී පහර දෙන එකට. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇයි රටේ අගමැතිගේ ප්‍රකාශයක් අහන්න බැරි ඵතරම් උද්දච්චකම මොකක්ද? ඒක හොඳ නැත්නම් විවේචනය කරන්න, පිළිගන්න බැරි නම් බෑ කියන්න. එහෙම නැතිව අගමැතිට ‍පොත්වලින් ගහන්න අයිතියක් එයාලට නෑ. අපි කවදාවත් එහෙම කරලා නෑ. ඒ ආපු තරහට මට කැස්සක් ආවා. ඒ තද බදේ අස්සේ මට යම් අමාරුවක් දැනුණා. ඒ වෙලාවේ මම පැත්තක වාඩි වුණා. ඉන් පසුව වෛද්‍යවරයා ගෙන්වාගෙන මාව පරීක්ෂා කරලා තමයි වැඩිදුරටත් විවේක ගන්න කියලා රෝහලට යැව්වේ.

ප්‍ර: ඒ පිරිස මැදට ඇවිත් කෑගහපු එක හරි. මං අහන්නේ ඔබලාත් මැදට පැනලා ඇවිලෙන ගින්නට පිදුරු දාපු එකෙන් නේද මේක මේ තරම් දුර ගියේ?
නෑ. එහෙම වුණා නම් මේ අය සෙංකෝ‍ලේ අරගෙන යනවා. එතකොට අගමැතිගේ කතාව නතර වෙනවා. එහෙම නැතිනම් මොකකින් හරි අගමැතිතුමාට පහර දේවි. අපි අපේ නායකයා ආරක්ෂා කර ගත යුතුයි. ඒක තමයි අපි කළේ.

ප්‍ර: ඔබ මුලින් කීවා මේ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට දාන වගකීම එජාපයට නෑ කියලා. ඉතිං අපි කලබල වෙලා පාර්ලිමේන්තුව කැඳෙව්වා.
මෙහෙමනේ. මේ වාර්තාව නිකුත් වෙලා ඉවරයි. ජනපතිතුමා මේ වාර්තාව ගැන ප්‍රකාශය කළාට පස්සේ ජනතාවට ලබා දෙනවා කියලා කීවා, ජනාධිපති කාර්යාලයෙන්. ඉතිං පාර්ලිමේන්තුව කැඳෙව්වාම අපි හිතුවේ එම වාර්තාව පාර්ලිමේන්තුවට එවයි කියලා. ඇයි හත්දෙයියනේ වාර්තාව හරි නම් කියෙව්වා නම් ඇයි එවන්නේ නැත්තේ. එහෙම නම් අපිට හිතේ සැකයක් එනවා වාර්තාව තුළ මොකක් හරි අඩුපාඩුවක් තියේද කියලා. මොකද එහෙම වෙද්දී අපිට නිකමට වගේ එහෙම හිතෙනවා.

ප්‍ර: මොනව වුණත් 2015 සිදු වූ බැඳුම්කර නිකුතුවේ දී සිදුවුණ මේ මහා පරිමාණ වංචාව බරපතළයි නේද?
එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක බරපතළයි තමා. වාර්තාව අපි හොඳටම දැක්කේ නෑ. අපි දන්න ටිකට අනුව 2008 ඉඳලා 2014 වෙනකම් මහ බැංකු බැඳුම්කර නිකුත් කරලා මිලියන 10 ක් හොරාකාලා තියෙනවා කියලා එම වාර්තාවේම තියෙනවා.

ප්‍ර: හොරු හොරු කීවට කෝ. ඉතිං ඒ හොරු අල්ලනවා. ඒක නොකර බොරුවට කියනවා විතරනේ. දැන් ජනතාවට ඒ කියවන එක එපා වෙලයි තියෙන්නේ?
මේ බැඳුම්කර නිකුතුව තමයි මුලින්ම ආවේ. ඒ වෙලාවේ තමයි අගමැතිතුමා කෝප් කමිටුවේ සභාපති කරලා දාන්න කීවේ. වාර්තා ආවා. පාර්ලිමේන්තුවේ විවාද කළා. අගමැතිතුමා එම වාර්තාව නීතිපතිට දාලා නඩු දාන්න කීවා. ත්‍රිපුද්ගල කමිටුවක් දැම්මා, ජනපති කොමිසමක් දැම්මා. යළිත් නඩු දාන්න කීවේ නීතිපතිට. මේක මේ හිඟන්නාගේ තුවා‍ලේ පාරනවා වගේ වැඩක්. මේ වෙද්දී ලිපිගොනු 80 ක්ම නීතිපතිට භාර දීලයි තියෙන්නේ.

ප්‍ර: හොරකම් කරන්න නොදී පැත්තකට දාලා තියෙනවා කියලා නෙවේනේ කීවේ. හිරේ දාලා දඬුවම් දෙනවා කීවා. ජනතාව අහන්නේ කෝ ඒ ‍පොරොන්දු කියලා?
අපි විශේෂ අධිකරණයක් පිහිටුවලා මේ නඩු ඉක්මනට අහන්න තීරණය වෙලයි තියෙන්නේ. කාලය වැයවීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. විශේෂ අධිකරණයක් ඔස්සේ ඒ නඩු අහන්න ඉදිරියේ කටයුතු කරාවි.

ප්‍ර: ආණ්ඩුව පැත්තේ කිසිම අඩුපාඩුවක් නෑ කියලද කියන්නේ?
නෑ. මම එහෙම කියන්නේ නෑ. අපේ අඩුපාඩු තියෙනවා. ඒක තමයි අද හොරු අපිට හොරු කියන්නේ.

සාකච්ඡා කළේ : සුජිත් කෝනාර
sujithkona@gmail.com