ඕමාන් ක්‍රිකට් පිලට විශේෂඥ දැනුම ලබාදීම සඳහා ශ්‍රී ලංකා පුහුණුකරුවන් දෙදෙනකු එක්වී ඇත. හිටපු ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු රුවන් කල්පගේ හා වේගපන්දු යැවීමේ සහාය පුහුණුකරු වූ අනූෂ සමරනායක මෙලෙස ඕමාන් ජාතික ක්‍රිකට් පි‍ලේ සේවයට එක්වන්නේ එහි ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා නායක මෙන්ම ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී දුලිප් මෙන්ඩිස්ගේ සහාය සඳහාය.

ඕමාන් පිල අයි.සී.සී. ලෝක ක්‍රිකට් ලීග් තරගාවලියේ දෙවැනි කොටසේ තරගාවලියට එළැඹෙන පෙබරවාරියේදී නැමීබියාවේදී මුහුණ දෙන අතර ඔවුන්ට එම තරගාවලියෙන් ඉදිරියට යෑමට කල්පගේ හා අනූෂගේ සේවය වැදගත් වන බව ඕමාන් ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කරයි.

රුවන් කල්පගේ ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩකයකු ලෙසත් විශේෂයෙන් දක්ෂ පන්දු රකින්නකු ලෙසත්, පිටදඟ පන්දු යවන්නකු ලෙසත් ප්‍රකටය. ඔහු වරෙක ශ්‍රී ලංකා පි‍ලේ සේවයෙන් ඉවත්ව බංග්ලාදේශයේ පන්දු රැකීමේ විශේෂඥ පුහුණුකරු තනතුර හෙබවූයේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සිටියදීය. අනූෂ සමරනායක වෙත ශ්‍රී ලංකා පිලට සේවය කිරීමේදී එල්ල වූ චෝදනාවන් නිසා අයි.සී.සී. වෙතින් විමර්ශනයක් සිදුකර පසුව එම වරදින් නිදහස් වුව ද නැවතත් සේවයට එක් කෙරුණේ නැත. කෙසේ වුවද හිටපු වේගපන්දු යවන්නකු වූ අනූෂ දක්ෂ පුහුණුකරුවකු බවට ක්‍රීඩකයන්ගේ ‍පොදු මතය වී තිබුණි.

රුවන් කල්පගේ පවසන්නේ ඕමාන් ක්‍රිකට් පි‍ලේ දක්ෂතා ඇති ක්‍රීඩකයින් ඇති නිසා ඔවුන්ගේ ලබාදෙන විශේෂඥ පුහුණුව මත තවත් ඉදිරියට යා හැකි බවයි. ඔහු දඟපන්දු යැවීම හා පන්දු රැකීම අංශ දෙකෙහිම දැනුම තවත් වර්ධනය කිරීමට පැවරී ඇත. වඩාත් අත්දැකීම් ඇති කණ්ඩායම් සමග සේවයේ යෙදී සිටි කල්පගේ පවසන්නේ ඕමාන් වැනි පිලකට සේවය ලබා දීමේදී ඔවුන්ට වර්ධනය කළ යුතු දේවල් පිළිබඳ හොඳ අවබෝධයක් ලැබි ඇති බවයි. ඉන්දියානු පරිගණක දත්ත විශ්‍ලේෂකයකු ද සිටින ඕමාන් පිල ඉදිරියේදී ඉහළට ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනකු ලෙසට දුලිප් මෙන්ඩිස්, රුවන් කල්පගේ හා අනූෂ සමරනායකට පැවරී තිබිම ද කැපී පෙනේ.

ක්‍රීඩකයන්ගේ ආබාධයන්ගෙන් රැකගැනීමට ශාරීරික යෝග්‍යතාව කෙරෙහි ද මෙම පුහුණුකරුවන් සැලකිලිමත් වන බව ප්‍රකාශ කර සිටී. පුහුණුකරුවන් විසින් දෙන තල්ලුව නිසා ඕමාන් පිල ඉදිරියට ගැනීමට හැකිවේවි යැයි මෙම ශ්‍රී ලාංකික පුහුණුකරුවන්ගේ අදහසයි.

ධම්මික රත්නවීර