ගංජා ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිටකොටුව ‍පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු පිටකොටුව ‍පොලිස් සිර මැදිරිය තුළදී ගෙල වැලලාගෙන මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීම සඳහා ‍පොලිස්පති පූජිත් ජයසුනන්දර මහතා ‍පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට භාර දී ඇතැයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම සිද්ධිය වූ අවස්ථාවේ ‍පොලිසිය තුළ රාජකාරයේ යෙදී සිටි නිලධාරින් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා ලෙස ‍පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

පෙරේදා (10) මධ්‍යම රාත්‍රියේ දී මෙම සිද්ධිය වී ඇතැයි ‍පොලිසිය පවසයි.
ගංජා ළඟ තබාගෙන සිටි තරුණයකු පිටකොටුව ‍පොලිසියේ නිලධාරීන් විසින් පිටකොටුව, බැස්ටියන් මාවතේදී පෙරේදා (10) අත්අඩංගුවට ගෙන ‍පොලිස් සිරමැදිරියේ රඳවා ඇත.

ඔහු ‍පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී, සිය මේස් බැනියමෙන් ගෙල වැලලාගෙන ඇතැයි ‍පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හපුත‍ලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ජයසිරි ආරච්චිගේ කුමුදු ලක්මාල් නමැති 17 හැවිරිදි තරුණයෙකි.

මෘත දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ ජාතික රොහ‍ලේ තැන්පත්කර ඇත.

සාලිය කුමාර ගුණසේකර