මෙරට සංචාරයකට පැමිණි තරුණ ජර්මන් ජාතිකයකුගේ මගපෙන්වන්නකු ලෙස කටයුතු කළ පුද්ගලයා ඔහුගේ මුදල් පසුම්බිය, විදෙස් ගමන් බලපත්‍රය ඇතුළු දෑ තිබූ ගමන් මල්ල සොරකම්කර පලා යාමේ සිද්ධියක් පිළිබඳව හිඟුරක්ගොඩ ‍පොලිසිය පරීක්ෂණයක් අරඹා තිබේ.

ඊයේ (11) පෙරවරුවේදී මෙම සිද්ධියවී ඇත.
එම්මානුවෙල් නමැති 23 හැවිරිදි මෙම ජර්මන් ජාතිකයා මීට දින කීපයකට ඉහතදී සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ.

මෙම විදෙස් සංචාරකයාට හැටන් ප්‍රදේශයේදී මගපෙන්වන්නකු මුණගැසී ඇත. ජර්මන් ජාතිකයා ඔහු සමග සීගිරිය ප්‍රදේශයටද ගොස් අනතුරුව ‍පොළොන්නරුව ප්‍රදේශයට යාම සඳහා මෙම විදෙස් ජාතිකයා සිය මගපෙන්වන්නාද සමග ඊයේ පෙරවරුවේදී ත්‍රීරෝද රථයකින් ගොස් තිබේ.

හිඟුරක්ගොඩ හරහා ‍පොළොන්නරුවට යමින් සිටියදී මග පෙන්වන්නා ත්‍රිරෝද රථයෙන් බැස ජර්මන් ජාතිකයාගේ මුදල් පසුම්බිය සහ ගමන් මල්ලද රැගෙන පලාගොස් ඇත.

මේ පිළිබඳව ජර්මන් ජාතිකයා හිඟුරක්ගොඩ ‍පොලිසියට පැමිණිලි කර තිබේ. සිය පසුම්බියේ රුපියල් අසූදහසක පමණ විදෙස් මුදල් තිබූ බවද පවසා ඇත.

මෙම සිද්ධියෙන් පසු ජර්මන් ජාතිකයාට අවශ්‍ය පහසුකම් ලබාදීමට හිඟුරක්ගොඩ මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති මහින්ද වෛද්‍යතිලක මහතා කටයුතු කළේය.

සාලිය කුමාර ගුණසේකර