ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත් ටෙනිස් ක්‍රීඩකයකු මෙන්ම පළපුරුදු පරිපාලකයකු ද වන සුරේෂ් සුබ්‍රමනියම් මහතා මේ වසරේ පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ දී සභාපති තනතුර සඳහා තරග කරන බව පසුගිය දා ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබිය.

කොළඹ රාජකීය විදුහ‍ලේ ආදි සිසුවකු වන සුරේෂ් සුබ්‍රමනියම් මහතා 1981 වසරේ කේවල හා යුගල යන කාණ්ඩ දෙකේම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩකයා වූ අතර 2002 සිට 2007 දක්වා වසර 5ක් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ධුරය ද දරා ඇත.

මීට අමතරව වසර 2ක් ශ්‍රී ලංකා ටෙනිස් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් ඩේවිස් කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කර ඇති ඒ මහතා පාසල් වියේදී කොළඹ රාජකීය විදුහල වෙනුවෙන් ක්‍රිකට්, මේසපන්දු හා පාපන්දු ක්‍රීඩාවන්හි ද නිරත වූවෙකි.

ඇරෝ ජාත්‍යන්තර පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක ලෙස කටයුතු කරන සුබ්‍රමනියම් මහතා සුප්‍රකට ෆෝබ්ස් සහ වෝකර් සමාගමේ විදේශ විනිමය අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරමින් පරිපාලකයකු ලෙස ද කීර්තියක් අත්කරගෙන ඇත.

“ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී තමන්ගේ රට නියෝජනය කිරීමට කිසියම් ක්‍රීඩකයකු බලා‍පොරොත්තු වන්නේ නම් ඔහු හෝ ඇය තුළ උනන්දුව හා කැපවීම නොඅඩුවම තිබිය යුතුයි. මා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට තරග කරන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ තිබෙන ඒ උනන්දුව හා කැපවීම තව තවත් ‍පෝෂණය කිරීමේ අරමුණෙනුයි. ඒ වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් සුදුසුකම් ලබාගන්නා තත්ත්වයට පත් කළ යුත්තේ ඒ ඒ ක්‍රීඩා සම්මේලන විසිනුයි.

ඒ නිසා එම ක්‍රීඩා සම්මේලනවලට අවශ්‍ය උපදෙස් හා මූල්‍ය ආධාර ලබා දී ඔවුන් උනන්දු කිරීමත් මගේ බලා‍පොරොත්තුවයි.” යනුවෙන් සිය දැක්ම පිළීබඳ අදහස් දැක්වූ සුබ්‍රමනියම් මහතා ජාතික ඔලිම්පික් කමිටු නිවහන තුළ සියලුම ක්‍රීඩා සම්මේලන සඳහා කාර්යාල පහසුකම් සලසා දීමට ද බලා‍පොරොත්තු වෙයි.

ඒ හැරුණු විට ක්‍රීඩාවේ වර්ධනයට අකුල් හෙලන ඕනෑම සාධකයක් මුලිනුපුටා දැමීම සඳහා වගකීම භාරගැනීමට හා සම්පූර්ණයෙන්ම විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම ද ඔහුගේ සැලැස්මට ඇතුළත්ය.

සීවලී එදිරිවීර