ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පි‍ලේ නායකත්වය මාස හයකට පසුව නැවතත් ඇන්ජලෝ මැතිව්ස් වෙත ඊයේ (8) ලැබුණේ 2019 ලෝක කුසලානය කරා යන ගමනේ වඩාත් සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමේ අරමුණිනි. ඒ අනුව එක්දින හා ඕවර විස්ස – 20 නායකත්වය මැතිව්ස්ට හිමි වූ අතර තවදුරටත් ටෙස්ට් නායකත්වය දිනේෂ් චන්දිමාල්ට භාර වී ඇත.

චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමත් සමග එක්දින ක්‍රිකට් පිල නැවත ප්‍රතිසංවිධානය කිරීමේ පියවරක් ලෙසට පරිණත ක්‍රීඩක මැතිව්ස් වෙත නැවතත් නායකත්වය දෝලනය වී ඇත. ඒ අනුව එළඹෙන බංග්ලාදේශයේ දී පැවැත්වෙන තුන්කොන් තරගාවලිය මැතිව්ස්ට නැවතත් ශ්‍රී ලංකා පිල මෙහෙයවීම සිදුකරනු ඇත.

පසුගිය ජූලි සිම්බාබ්වේ එකදින තරගාවලිය 3-2 ලෙස අනපේක්ෂිත ලෙස පරාජය වීමෙන් පසුව නායකත්වයෙන් ඉල්ලා අස් වූ මැතිව්ස් නැවතත් නායකත්වය ගැනීමේ කිසිම අදහසක් නොතිබුණු බව පැවසීය. 2019 ලෝක කුසලානය දක්වා නායකත්වය වෙනත් සුදුසු කෙනකුට ලබා දී කණ්ඩායම ස්ථාවර වනු දැකීමයි මම ඒ අවස්ථාවේ කල්පනා කළේ. කෙසේ වුවත් අවසන් ඉන්දියන් සංචාරයෙන් පසුව ක්‍රිකට් ප්‍රධානී, නව පුහුණුකරු හතුරුසිංහ, තේරීම් කමිටුව මගෙන් නැවතත් කණ්ඩායමේ වගකීම භාර ගන්න යැයි ඉල්ලීමක් කළා. ඒත් මට එකවර තීරණයක් නොගෙන ටිකක් කාලය ඉල්ලුවා ඒ ගැන අවසන් තීරණයකට එන්න. මොකද මම සිතිය යුතු කරුණු ගණනාවක් තිබුණා.

කොහොම වුණත් හතුරු අයියා මම කාලයක සිට හොඳින් හඳුනනවා. ඔහුත් සමග ශ්‍රී ලංකා “ඒ” පි‍ලේ පුහුණුකරු ලෙස සිටියදී සේවය ලබා පසුව ඔහු 2010 ජාතික පි‍ලේ සහායක පුහුණුකරු ලෙස සිටින විටත් සේවය ලැබුණා. ඔහුත් එක්ක වැඩකරන එක පහසුයි. හතුරු අයියට කොහොමද කණ්ඩායම හසුරුවන්නෙ කියන එක දන්නවා. ඒ වගේම ඔහු වැනි පුහුණුකරුවකු අපට සිටින විට ප්‍රතිවාදී කණ්ඩායම යම් තැති ගැනීමක් දක්වනවා. ඒක අපිට වාසියක් යනුවෙන් හතුරුසිංහගේ සේවය ලැබිම ගැන ඇගයීමෙන් කතා කිරීමට ද මැතිව්ස් දවෛනිවර නායකත්වය ගැනීමේදී අමතක නොකළේ ය.

ඇත්තටම මැතිව්ස්ට වරින්වර ඇති වූ ආබාධයන් නිසා මෑත කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් එක්දින තරග 20 ක් පමණ අහිමි විය. මේ නිසා මෙවරද මැතිව්ස්ට ඉන්දියන් සංචාරයේ දී ඇති වූ ආබාධ නිසා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමට සිදු වූ අතර ඉන් පසුව නායකත්වය ගැන තීරණය විය.

ක්‍රිකට් මට මේ වෙනකොට බොහා් දේවල් ලබා දී තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා මගේ අතීතය දෙස හැරී බැලුවොත් මට තවත් දේවල් ක්‍රිකට් වෙනුවෙන් කළ යුතුව තිබෙනවා. අවාසනාවන්ත ලෙස ආබාධයන්ට මුහුණ දීම නොසිතූ දෙයක්. එහෙත් මේ දේවල්වලට ක්‍රීඩකයකුට මුහුණ දීමට සිදුවෙනවා යැයි මැතිව්ස් පවසයි.

පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසන්නේ මේ අවස්ථාවේ දී එක්දින නායකත්වයට වඩාත් සුදුසු මැතිව්ස් බවයි. ඔහුගේ දක්ෂතා නිසායි කණ්ඩායමේ ස්ථාවර බව ලබා තිබෙන්නේ. එකම ගැටලුව ආබාධයක් ඇති වීම. ඒ නිසා ඔහුට හොඳින් ශාරීරික යෝග්‍යතාව පවත්වා ගනිමින් රැකගත යුතුයි යනුවෙන් හතුරුසිංහ පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානී තිලංග සුමතිපාල පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ ලෝක කුසලාන ගමනේ දී මැතිව්ස්ගේ නායකත්වය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි. දීර්ඝ සාකච්ඡාවකින් පසුව ඔහුට නැවතත් නායකත්වය දීමට තිරණය කළේ. ඒ තුළ ඉදිරියේ සාර්ථක ගමනක් යෑමට හැකි වේවි යැයි කිකට් ප්‍රධානී පවසයි.

ධම්මික රත්නවීර