මැතිවරණ නීතිය අනුව මැතිවරණ කාලයට ඡුන්ද පෝස්ටර් කටවුට් ප‍්‍රදර්ශනය තහනම්ය. එහෙත් මේ වන විට රටේ සියලූ නගර ගම් දනව්වල තාප්ප, බිත්ති, ලයිට් කණු, පාලම්, සැතපුම් කණු, ගස්, ගල් එක එක පන්නයේ තහනම් පෝස්ටර්වලින් වැසී ගොසිනි. මේවා විනාඩි ගණනින් අලූත් වෙයි. එතෙක් තිබුණු මුහුණ වෙනුවට නව මුහුණ මතුවෙයි. කිසි දවසක සිනාවීමට නොදත් අය පවා දත් තිස් දෙකම එළියට දමා සිනාසෙයි.

ඒ ඒ පක්ෂවල සහ අපේක්ෂකයන්ගේ සහචරයෝ පාප්ප බාල්දි ගෙන දිවා ? නොතකා පාර දෙපස පොදු ස්ථානවල පෝස්ටර් අලවති. මේ වන විට රට පුරා රුපියල් කෝටි ගණනක පෝස්ටර් අලවා අවසන්ය. මේ මොහොතේ පවා විරාමයක් නැතිව මුද්‍රණාලවල පෝස්ටර් මුද්‍රණය වෙයි. ඒ සඳහා පාන් පිටි ටොන් ගණනක් වැයවෙයි.

හන්දියේ, පාර අයිනේ, වෙලේ, ඇළේ, ඈත කඳු මුදුන්වල, උස ගස්වල කටවුට්ය. ඒ සඳහා ද රුපියල් මිලියන ගණනක් රටේ සල්ලි විනාශ කර අවසන්ය. මේ සියල්ල සිදුවන්නේ මැතිවරණ නීතිය අනුව කටවුට් පෝස්ටර් ප‍්‍රදර්ශනය තහනම් පසුබිමකය. ඒ තහනම් නීතිය රටේ බලාත්මක නොවන නීතිය බල්ලාට ගිය  පසුබිමකය.

මේ අතර පසුගිය දා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රකාශ කළේ මැතිවරණ සමයේ පෝස්ටර් ප‍්‍රදර්ශනය තහනම් බවත් කිසිවකු පෝස්ටර් ඇලවුවහොත් තමන් ඊට උඩින් මේවා නීති විරෝධි පෝස්ටර් බව සඳහන් පෝස්ටර් අලවන බවත්ය. මෙය කිසිසේත් ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් නොවන අතර විය යුතු ලෙසම අසාර්ථක විය.

එක අතකින් එය ජනතාවගේ වාසනාවකි. එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වූයේ නම් තම බදු මුදලින් තවත් කෝටි ගණනක පෝස්ටර් ගසා නීති විරෝධී පෝස්ටර් මත ඇලවීමේ නාඩගමක් ද බැලීමට මේ රටේ ජනතාවට සිදුවන්නට ඉඩ තිබිණි. එහෙත් මේ පෝස්ටර්වලට ද උඩින් නැවත විනාඩි කිහිපයක් තුළ තවත් නීති විරෝධි පෝස්ටරයක් ඇලවෙනු ඇත.

මේ අතර පොලිසිය නීති විරෝධි පෝස්ටර් ගැලවීමට මූලස්ථාන පොලිසියකට කම්කරුවන් තිදෙනකු ද දිවයිනේ සෙසු පොලිස් ස්ථාන සඳහා කම්කරුවන් දෙදෙනා බැගින් ද යෙදවීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පවසා තිබේ. මේ රටේ මේ වන විට එක් ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයක සියලූ පක්ෂ සහ අපේක්ෂකයන් දිනකට අලවන පෝස්ටර් සම්භාරය ඉවත් කිරීම සඳහා රටේ ආරක්ෂක හමුදාව යෙදවුව ද ප‍්‍රමාණවත් වේ යැයි සිතිය නොහැකිය. එහෙයින් සැබවින්ම එය ද නිකරුණේ මහජන මුදල් අපතේ යවන ක‍්‍රියාවක් පමණක් බව පැහැදිලිය.

ඒ නිසා කළ යුත්තේ මෙවැනි නෙයියාඩං නැටීම නොව මැතිවරණ නීතිය අනුව පෝස්ටර් කටවුට් ප‍්‍රදර්ශනය තහනම් බවට වන නීතිය දැඩි ලෙස බලාත්මක කිරීමට කටයුතු කිරීමය. කිසිවකු අනවසර තැනක නීති විරෝධි මැතිවරණ පෝස්ටර් හෝ කටවුඞ් ප‍්‍රදර්ශනය කරන්නේ නම් ඔහුගේ අපේක්ෂකත්වය තාවකාලිකව තහනම් කර වැරදිකරු වුවහොත් අපේක්ෂත්වය අහෝසි කර දමන තැනට නීතිය බලාත්මක විය යුතුය.

එමගින් මැතිවරණ සමයේ නිකරුණේ පෝස්ටර් කටවුට් තරගය සඳහා විනාශ වී යන රුපියල් බිලියන ගණනක රටේ ජාතික ධනය රැුකගත හැකිය. එම පෝස්ටර් කටවුට් ඉවත් කිරීමේ අසාර්ථක ව්‍යාපෘතිය පිණිස යොදවන ජාතික ධනය ඉතිරි කළ හැකිය. පෝස්ටර් කටවුට් නිසා දේශපාලන කණ්ඩායම් අතර ඇති වන ගැටුම් නතර කළ හැකිය. පරිසරය අවලස්සන වීම හා පරිසරය අපවිත‍්‍ර වීම නතර කළ හැකිය. මැතිවරණයේ දී නිදහසේ ඡුන්දය ප‍්‍රකාශ කිරීමට සිදුවන බලපෑම අවම කළ හැකිය. අදට වඩා ශීලාචාර මැතිවරණ ක‍්‍රමයක් රටට ලබා දිය හැකිය.