ඉරානයේ රාත්‍රිය පුරා පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ දස දෙනෙකු මරණයට පත්ව ඇතැයි එරට රජයේ රූපවාහිනිය පවසයි.
උද්ඝෝෂණ ආරම්භ වූ බ්‍රහස්පතින්දා (දෙසැ 28) සිට තවත් 12 දෙනෙකුවත් තුවාල ලබා තිබේ.
සඳුදා (ජනවාරි 01) ප්‍රකාශයක් කරමින් ඉරාන ජනාධිපති හසන් රවුහානි කියා සිටියේ උද්ඝෝෂණ සහ විවේචන යනු අවස්ථා උදා කිරීමක් විනා තර්ජනයක් නොවන බවය.ආර්ථික ගැටලු සඳහා පිළියම් සොයනු වස් රට එක්ව කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේය.”ජනතා අභිලාෂයන්ට සහ නීතියට එරෙහිව සටන් පාඨ හඬ නගන, පවිත්‍රත්වයට සහ විප්ලවයේ වටිනාකම්වලට පරිභව කරන සුළුතරය ගැන රටජාතීන් බලා ගනීවි,” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. උද්ඝෝෂණ පැවැත්වීමට පුරවැසියන්ට නිදහස ඇතත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරිය නොහැකි බව ඔහු මීට පෙර සඳහන් කර තිබිණි.
ඉරානයේ දෙවෙනි විශාලතම නගරය වන මශාද් නුවර බ්‍රහස්පතින්දා ආරම්භ වූ උද්ඝෝෂණ, 2009 වසරේ දී සාහසික ලෙස යටපත් කෙරුණු ‘කොල ව්‍යාපාරයේ’ (Green Movement) රැළිවලින් පසු හටගත් විශාලතම ආණ්ඩු විරෝධී ජන රැල්ලයි.

බී බී සි